රසායනික පොහොර ගෙන්වීම සම්පූර්ණයෙන් නතර කරනවා; ජනපති

අප්‍රේ 23, 2021

    රසායනික පොහොර ගෙන්වීම සම්පූර්ණයෙන් නතර කිරීමට අවදානය යොමුව ඇතැයි, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා පවසයි.

    රාජ්‍ය, සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් සමඟ කොටුව ජනාධිපති මන්දිරයේ ඊයේ පස්වරුවේ පැවති හමුවකදී ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේය. රසායනික පොහොර භාවිතය නිසා, හානි රැසක් සිදුව තිබේ. පාරිසරික සහ සෞඛ්‍ය බලපෑම් ඒ අතර ප්‍රධානයි.

    කාබනික පොහොර භාවිතයෙන් ඊට විසඳුම් ලබාගත හැකි බව, ජනාධිපතිතුමා අවධාරණය කරයි. රසායනික පොහොර ආනයනයට වාර්ෂිකව වැය කරන ඩොලර් මිලියන 400ක මුදල ජන ජිවිතය නඟා සිටුවීමට යොදා ගත හැකි බව එතුමා පෙන්වා දෙයි.

    තමා බලයට පත් කිරීමෙන් ජනතාව ප්‍රතිපත්තිමය වෙනසක් අපේක්‍ෂා කළ අතර, ඊට සියලු දෙනාගේ සහය අවශ්‍ය බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය. ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, මුදල් ලේකම් එස්.ආර් ආටිගල යන මහත්වරු ද මේ අවස්ථාවට එක්වූහ.

    Latest News