හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා පෙත්සමක්

අප්‍රේ 27, 2021

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

    එහි වගඋත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, පොලිස්පතිවරයා, මහජන ආරක්ෂක අමාත්‍යා සරත් වීරසේකර, නීතිපතිවරයා නම් කර තිබේ.

    පෙත්සම්කාර හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරන්නේ තමන්ට දුරකථනයෙන් කථා කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශයක් ලබා දීම සඳහා පසුගිය 25 වැනිදා පෙනී සිටින ලෙස දැනුම් දුන් බවයි.

    ඉන් අනතුරුව අසනීප වීම නිසා තමන් රෝහල් ගත වූ බවද ඔහු සඳහන් කළේය.

    තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන රැදවුම් නියෝග යටතේ රදවා තැබීමේ සූදානමක් පවතින බව පෙන්වා දෙන හරීන් ප්‍රනාන්දු මහතා මේ තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වීමේ අත්‍යසන්න තත්ත්වයක් උද්ගතව ඇති බවත් සඳහන් කළේය.

    ඒ අනුව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කාර හරීන් ප්‍රනාන්දු මහතා ඉල්ලා සිටියේය.

    එමෙන්ම තමන්ව රඳවා ගැනීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැදවුම් නියෝගයක් නිකුත් කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් වග උත්තරකරුවන් වෙත නිකුත් කරන ලෙස ද පෙත්සම්කාර හරීන් ප්‍රනාන්දු මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    Latest News