ඇවන්ගාඩ් නඩුවේ තීන්දුව මැයි 21

අප්‍රේ 28, 2021

    ගාල්ල වරාය ආසන්න මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 08 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ තීන්දුව මැයි මස 21 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නිමා කළේය.

    ආදිත්‍ය පටබැඳිගේ, මංජුල තිලකරත්න සහ මහේන් වීරමන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩු විභාගය පැවැත්විණ. පසුගිය දින තුන තිස්සේ සිදු කෙරුණු වාචික දේශන ඉදිරිපත් ඉදිරිපත් කිරීම අද අවසන් කෙරුණ.

    ඉන් අනතුරුව නඩුවට අදාළ ලිබිත දේශන මැයි මස 12 වන දා ඉදිරිපත් කරන ලෙසයි විනිසුරු මඩුල්ල පාර්ශවකරුවන්ට නියම කළේය. අනතුරුව නඩුවේ තීන්දුව මැයි මස 21 වන දා ප්‍රකාශයට පත් කරන බවද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නිවේදනය කළේය.

    2012 වසරේ ගාලු වරායට ආසන්න බේරුවල මුහුදු තීරයේ එම්.වී. ඇවන්ගාඩ් නැමැති නෞකාව තුළ බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස ජීව උණ්ඩ 203395 ක් සන්තකයේ තබාගැනීම, ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් අට දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම චෝදනා 19 ඉදිරිපත් කර තිබේ.

    Last modified on බදාදා, 28 අප්‍රේල් 2021 19:53

    Latest News