තමන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පොඩි ලැසී විසින් ඉදිරිපත් කළ පෙත්සම අද සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී පොඩි ලැසී වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි සැකකරුවන් දෙදෙනෙකු මීට පෙර වෙනත් පොලිස් ඒකක වෙත මාරු කිරීමෙන් පසුව විමර්ශන සඳහා පිටතට රැගෙන ගිය අවස්ථාවේ දී ඇති වූ ගැටුම් වලින් ඔවුන් මියගොස් තිබූ බව පොලිසිය විසින් සඳහන් කර තිබුණේ යැයි පැවසීය.
දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින තම සේවාදායකයාට ද මෙවැනි ඉරණමක් අත් වනු ඇතැයි බියක් සිය සේවාදායකයා තුළ මතු වී තිබෙන බවත් එබැවින් ඔහුගේ ආරක්ෂාව තහවුරු කරන නියෝගයක් නිකුත් කරන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අත්අඩංගුවේ පසු වන මෙම සැකකරුට එරෙහිව විමර්ශන කීපයක් පැවැත්වෙමින් තිබෙන බව සඳහන් කළේය.
කෙසේවතත් ඔහුගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස පොලිස්පතිවරයාට තමා උපදෙස් ලබාදීමට පියවර ගන්නා බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දුන්නේය.
ඒ අනුව එම ප්‍රතිඥාව සටහන් කර ගත්හ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම සලකා බැලීම සඳහා නැවත ජුනි මස 16 වැනිදා කැඳවීමට ද නියම කළේය.
අත්අඩංගුවේ පසු වන පොඩි ලැසී නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වෙනත් පොලිස් ඒකක වෙත භාර දීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සමෙන් ඉල්ලා තිබුණත් එම ඉල්ලීම සම්බන්ධයෙන් අධිකරණය නියෝගයක් නිකුත් නොකළේය.