'කෘෂිකර්ම අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක් පත්කරනවා'...

ජූනි 06, 2021

    කෘෂිකර්ම අමාත්‍යාංශයේ නව ලේකම්වරයා වශයෙන් වයඹ විශ්ව විද්‍යලයේ කෘෂිකර්ම පිඨයේ උප කුලපතිවරයාව පත් කරන බව, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

    නාවලපිටිය ප්‍රදේශයේ අද (06) දින පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය. 

    අමාත්‍යාංශයේ හිටපු ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා ඔහුගේ පුද්ගලික හේතුවක් මත සිය තනතුරෙන් ඉල්ලා අස්විමේ ලිපිය තමන්ට භාරදුන් බවයි,අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    හිටපු ලේකම්වරයා අස්වීමට වෙනත් කිසිදු හේතුවක් නොමැති බවත්,තම අමාත්‍යාංශයට අවශ්‍ය කාබනික විෂය පිලිබඳව මනා දැනුමක් ඇති අය නිසා තම අමාත්‍යාංශයේ නව ලේකම්වරයා වශයෙන් වයඹ විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පිඨයේ උප කුලපතිවරයා පත් කිරිමට තිරණය කළ බවත් අමාත්‍යවරයා පැවසීය.

    රටේ කිසිඳු රසායනික පොහොර හිඟයක් නොමැති බවත්, පොහොර ආනයනය කිරිම ගැසට් නිවේදනයක් මගින් නතර කිරිම සමග ඇති වූ රසායනික පොහොර හිඟය විසදුමක් වශයෙන් එම රසායනික පොහොර තොග පෞද්ගලික අංශයෙන් ලබාගෙන එම පොහොර තොග මේ වන විට ගොවින් අතට පත් කිරිමට පියවර ගෙන ඇති බවයි,අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

    රසායනික පොහොර භාවිතය මෙරටින් තුරන් කර කාබනික පොහොර භාවිතයට මේ රටේ ගොවින් යොමු කරන බවයි, මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ කියා සිටියේ.

    Latest News