රජයේ දැක්ම සහ අභිලාෂය වන්නේ, වරාය නගරය ලෝකයේ වේගයෙන් වර්ධනය වන කලාප අතුරින් ප්‍රධාන සේවා සපයන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමයි. මෙහි ආයෝජනයෙන් වරාය නගරය ලබාදෙන සුවිශේෂි ශක්තීන් හා අවස්ථාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට සියලු රටවල ව්‍යාපාරිකයන්ට ඉඩ ප්‍රස්ථාව උදාවී ඇතැයි ජනාධිපතිතුමා පෙන්වා දෙයි.
ආයෝජන මණ්ඩලය, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සහ කොළඹ කොටස් හුවමාරුව එක්ව සංවිධාන කරන “2021 ශ්‍රී ලංකා ආයෝජන සංසදය” තෙදින සමුළුව අද (07) පෙරවරුවේ ආරම්භ කරමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.
සමුළුව මගින් ශ්‍රී ලංකාවේ සෘජු විදේශ ආයෝජන සහ ප්‍රාග්ධන වෙළෙදපොළ අවස්ථා පිළිබඳ සමස්ත අත්දැකීමක් සහ පුළුල් අවබෝධයක් ලබාදීමට අපේක්ෂා කෙරේ. සමුළුවේ දෙවන දිනය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ තෙවන දිනය රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ආරම්භ කිරීමට නියමිතව තිබේ.
2030 වන විට ශ්‍රී ලංකාවේ ජාතික නිමැවුම්, වර්තමාන මට්ටමේ සිට ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇ.ඩො. 8,000ක් දක්වා දෙගුණ කිරීම සඳහා පරිවර්තනීය හා වේගවත් ආර්ථික වර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බව ජනාධිපතිතුමා සඳහන් කළේය.
අද්විතිය භූගෝලීය පිහිටීම, දේශපාලන ස්ථාවරත්වය, ශක්තිමත් ආයතන සහ සමාජ ව්‍යුහය, උගත් හා දක්ෂ ශ්‍රම බලකාය යනාදී සාධක මෙරට සතු ශක්තීන් බව පෙන්වා දෙන ජනාධිපතිතුමා රජයේ වර්ධන ඉලක්ක සපුරා ගැනීමට මෙම සාධක ප්‍රයෝජනයට ගන්නා බව පැවසීය.
ශතවර්ෂ ගණනාවක් පුරා ශ්‍රී ලංකාව පෙරදිග හා අපරදිග සම්බන්ධ කළ කේන්ද්‍රස්ථානයකි. කොළඹ සහ හම්බන්තොට වරායන් සතු ජාත්‍යන්තර මට්ටමේ පහසුකම් මගින් කාර්ය බහුල වූ ඉන්දියන් සාගරයේ ගමන් කරන විශාලතම බහාලුම් නැව්වලට පවා සේවා සැපයීමට සමත්ව සිටී.
කලාපයේ ප්‍රගති නැව්ගත කිරීමේ සහ සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස රට මනාව ස්ථානගත වී ඇති හෙයින් මෙම අංශවල ආයෝජනය සඳහා ඉඩ ප්‍රස්ථාව ඇති බව ජනාධිපතිතුමා විසින් පෙන්වා දෙනු ලැබිණ.
සෞඛ්‍ය සම්පන්න හා කාබනික කෘෂි කර්මාන්තයට සහාය දැක්වීමට රජය දැඩි ප්‍රතිපත්තිමය ස්ථාවරයක් ගෙන තිබේ. සෞඛ්‍ය සම්පන්න බව අගයන කලාපයේ ජනතාවට උසස් තත්ත්වයේ කෘෂිකාර්මික නිෂ්පාදන සැපයීමට අනාගතයේ දී ශ්‍රී ලංකාවට හැකි වේ.
මෙම සන්දර්භය තුළ නව තාක්ෂණයන් හා ගොවිතැන් ක්‍රම සඳහා සිදු කෙරෙන ආයෝජන සඳහා අවස්ථා රැසක් නිර්මාණය වී ඇතැයි ජනාධිපතිතුමා සඳහන් කළේය. 2030 වන විට ජාතික විදුලි අවශ්‍යතාවයෙන් 70%ක්ම පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් නිපදවීම රජයේ ඉලක්කයයි.
විදුලිබල සැපයුම තිරසරව ඉහළ නැංවිය හැකි සහ කාර්මීකරණය වැඩිදියුණු කිරීමට මහා පරිමාණ සූර්ය හා සුළං බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන් සිදුකරන ආයෝජන සඳහා ද ජනාධිපතිතුමා ඇරයුම් කළේය.
අධි තාක්ෂණික කර්මාන්ත සඳහා භාවිතා වන බොහෝ අමුද්‍රව්‍ය ප්‍රභවයන් ශ්‍රී ලංකාව සතු වේ. මෙම සම්පත්වලට අගය එකතු කරන නිෂ්පාදන කර්මාන්ත සඳහා ආයෝජන දිරිගැන්වීමට රජය උනන්දු වන අතර අනාගතයේදී ගෝලීය වෙළෙඳපොළ සඳහා ඉලෙක්ට්‍රෝනික උපාංග නිෂ්පාදනය කිරීමේ මාවතට පිවිසීමට අපේක්ෂා කරන බැවින් ඒ සඳහා ද ආයෝජකයන්ට ඉඩකඩ ඇති බව ජනාධිපතිතුමා පැවසීය.
ලොව පුරා විසිරි සිටින ප්‍රධාන පෙළේ ආයෝජකයෝ ඇතුළු 3500කට අධික පිරිසක් වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම තෙදින සමුළුවට එක්ව සිටිති. විදේශ ආයෝජන ආකර්ශනය කරගැනීම සඳහා පැවැත්වෙන ආසියාවේ පළමු හා විශාලතම මාර්ගගත සංසදය මෙය බව සංවිධායකයෝ පැවසූහ. යුරෝපයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ ව්‍යවසායකයන්ගේ පහසුව පිණිස දෙවන සැසියක් ලෙස සමුළුව විකාශය කිරීමටත් සැලසුම් කර තිබේ.
අධිකරණ අමාත්‍ය අලි සබ්රි, නාගරික සංවර්ධන රාජ්‍ය නාලක ගොඩහේවා, ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ(GopalBaglay), දකුණු කොරියානු තානාපති වුන්ජින් ජියෝන්ග් (WoonjinJeong), ජපාන තානාපති අකිරා සුගියාමා (Akira Sugiyama), චීන තානාපති චී ෂෙන්ග්හොන්ග් (Qi Zhenhong), යුරෝපා සංගමයේ නියෝජිත දූත මණ්ඩල නියෝජ්‍ය ප්‍රධානී තෝර්ස්ටන් බාර්ග්ෆ්රෙජඩ් (Thorsten Bargfrede) සහ ඇමෙරිකා තානාපති කාර්යාලයේ ප්‍රධාන තානාපති නිලධාරී මාර්ටින් කෙලී (Martin Kelly) යන මහත්වරු සම්පත් දායකයින් ලෙස සමුළුවට සහභාගී වෙති.
එක් එක් රටවලට අදාළ සැසිවාරවලදී ඒ ඒ රටවල් නියෝජනය සඳහා ශ්‍රී ලංකාවේ තානාපතිවරුන් ද සමුළුව ඇමතීමට නියමිතව තිබේ. ප්‍රතිපත්ති සම්පාදකයින් සමග අදහස් හුවමාරු කරගැනීම සඳහා ජාත්‍යන්තර කථිකයින් රැසක් සමුළුවට එක්ව සිටිති.