වාරියපොළ ගොවිජන සංවර්ධන නිලධාරිවරයා පොහොර වංචාවට අත්අඩංගුවට

ජූනි 14, 2021

    වාරියපොළ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ගොවිජන සංවර්ධන නිලධාරිවරයා පොහොර වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

    අප වාර්තාකරු පවසන්නේ ඔහු අද වාරියපොළ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවයි. වාරියපොළ ගොවිජන සේවා මධ්‍යස්ථානයට රැගෙන එන පොහොර එහි ගොවිජන සංවර්ධන නිලධාරිවරයාට අයත් සියඹලාගස්කොටුව ප්‍රදේශයේ වෙළෙඳසැලකට රැගෙන යාමේ වංචාවක් කලක සිට සිදුවන බවට 119 ක්‍ෂණික ඇමතුම් අංකයෙන් පැමිණිල්ලක් ලැබී තිබේ.

    එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ ප්‍රදේශයේ ගොවි මහතෙකු විසින්. සැකකරු වාරියපොළ ගොවිජන සේවා මධ්‍යස්ථානයට රැගෙන එන ලද පොල් පොහොර මිටි 47ක් සිය පෞද්ගලික වෙළෙඳසැලට වංචනික ලෙස රැගෙන ගොස් ඇති බවට පැමිණිල්ලෙන් දැනුම් දී ඇත.

    ඒ අනුව කළ පරීක්‍ෂාවේ දී එම පොහොර මිටි 47 සැකකරුගේ වෙළෙඳසැලේ තිබී පොලිස් බාරයට ගැනීමෙන් අනතුරුව කළ දීර්ඝ විමර්ශනයකින් පසු අදාළ නිලධාරියා අත්අඩංගුවට ගත් බව වාරි‍යපොළ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා සඳහන් කළේය.

    රජයේ සහනාධාරය යටතේ රුපියල් 1,500කට ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් ගොවීන්ට ලබාදීමට ඇති පොහොර මෙම‍ ගොවිජන සංවර්ධන නිලධාරියාවරයා වංචනික ආකාරයෙන් මිලදී ගෙන පසුව එම පොහොර තම වෙළෙඳ සැලේ රුපියල් 2,500ත්, 4,000ත් වැනි මිල ගණන්වලට අලෙවි කර ඇති බවට හෙළි වී ඇත.

    Latest News