රටවල් කිහිපයක සිට පැමිණෙන සංචාරකයින්ට මෙරටට ඇතුළුවීමට අවසර නැහැ

ජූනි 28, 2021

    රටවල් කිහිපයක සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සඳහා මෙරට ඇතුළුවීමට අවසර ලබා නොදීමට ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබේ.

    මෙම තීරණය ජුනි 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක බව, සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් කපිතාන් තේමිය අබේවික්‍රම මහතා පවසයි. ඒ අනුව ඉකුත් දින 14 තුළ ඇන්ගෝලාව, බොට්ස්වානා, ලෙසතෝ, මොසැම්බික්, නැමීබියා, ස්වාසිලන්තය, සැම්බියාව සහ සිම්බාබ්වේ යන රටවල සංචාරය කර එම රටවල් හරහා ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයන්ට ඇතුළුවීමට අවසර නොලැබෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

    පවතින කොවිඩ්-19 වසංගත තත්වය හේතුවෙන්, සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලැබී ඇති උපදෙස් පරිදි සියලු ගුවන් සේවා වෙත මේ පිළිබඳ දැනුම්දීමට පියවර ගෙන තිබේ. මෙම තීරණය ජුලි 31 වැනිදා දක්වා වලංගු බව, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

    Latest News