ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව සෑම පොලිස් ස්ථානයකටම ශක්තිමත් ප්‍රවාහන පද්ධතියක් පැවතීමේ අවශ්‍යතාව හඳුනාගනිමින් මෙම ත්‍රී රෝද රථ දිවයිනේ පොලිස් ස්ථානවෙත බෙදා දීම සිදුකෙරේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහි දී සංකේතාත්මකව මීගොඩ, ගොතටුව, යක්කල, බෙම්මුල්ල, පල්ලෙවෙල, මිහිජය සෙවණ, කුරුඳුවත්ත, එගොඩඋයන සහ මත්තෙගොඩ පොලිස් ස්ථාන සඳහා ලබාදෙන ත්‍රී රෝද රථ එම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත ප්රදානය කළේය.
මෙම ත්‍රී රෝද රථ අදාළ පොලිස් ස්ථානයන්හි අපරාධ වැළැක්වීම හා විමර්ශනය, විවිධ පැමිණිලි විභාග කිරීම, 119 හදිසි ඇමතුම් සඳහා අවශ්‍යතාව අනුව යෙදවීම, ළමා හා කාන්තා කාර්යංශය හා දූෂණ මර්ධන අංශයේ රාජකාරි සඳහා යොදා ගැනීම, බුද්ධි කොට්ඨාශයන්හි ආවේශන රාජකාරි සහ සිවිල් රාජකාරි සඳහා යෙදවීමට අපේක්ෂිතය.
ග්‍රාමීය ප්‍රදේශවලට කඩිනමින් ළඟාවීමේ පහසුව මත පොලිසිය සහ මහජනතාව අතර සබඳතා ශක්තිමත් කරමින් ප්‍රජා පොලිස් සංකල්පය ප්‍රවර්ධනය කිරීම ද මෙම වැඩසටහන ඔස්සේ ක්‍රියාත්මක වේ. තීරු බදු රහිතව ගෙන්වා ඇති මෙම ත්‍රී රෝද රථ සඳහා රුපියල් මිලියන 829කට වඩා අධික මුදලක් රජය වැය කර තිබේ.
සෞඛ්‍ය මාර්ගෝපදේශයන් යටතේ පැවති මෙම අවස්ථාව සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී රත්නායක, වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍යවරුන් වන කාංචන විජේසේකර, අජිත් නිවාඩ් කබ්රාල්, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස්, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහත්වරු ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් රැසක් සහභාගි වූහ.