අපේක්ෂා රෝහලේ දායක ඇටමිදුලු බද්ධ ආරම්භයට සැලසුම්ක්

පෙබ 11, 2019

    මහරගම අපේක්ෂා රෝහලේ දායක ඇටමිදුලු බද්ධය ආරම්භ කිරීම පිළිබදව විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විනි.

    මහරගම අපේක්ෂා රෝහලේ මෙතෙක් සිදුකෙරුණේ ස්වයං ඇටමිදුලු බද්ධයයි. එවැනි ඇටමිදුලු බද්ධ කිරීම් 50 ක් මේ වන විට සිදුකර ඇත. දායක ඇටමිදුලු බද්ධය ආරම්භ කිරිම සදහා මහරගම අපේක්ෂා රෝහලේ පහසුකම් වැඩිදියුණු කිරිම පිළීබදව මෙහිදී සාකච්ඡාවී තිබේ.

    මහරගම අපේක්ෂා රෝහලේ දැනට කාමර 02 ක ඇටමිදුලු බද්ධයට නියමිත රෝගීන් නතර කර ඇති අතර එම කාමර සංඛ්‍යාව 08 දක්වා වැඩිකර දෙන ලෙස විශේෂඥ වෛද්‍යවරුන් ඉල්ලා සිටියේය. ඒ සදහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා එකඟවී ඇති අතර, තවත් පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන් එම රෝහලට අනුයුක්ත කිරීමට ද තීරණය කෙරිණ.

    දායක ඇටමිදුලු බද්ධය ආරම්භ කිරිම සදහා විශේෂඥ වෛද්‍යවරුන් 04 ක්, වෛද්‍යවරුන් 05 ක්, හෙදහෙදියන් 05 ක් සහ රසායනාගාර විද්‍යාඥයින් 02 කට විධිමත් පුහුණුවක් ලබා දී ඇත. ඒ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සෙන් වින්සන්ට් රෝහල මගිනි. අවශ්‍ය පහසුකම් ලබාදුන් පසු දායක ඇටමිදුලු බද්ධ කිරීම 2019 වසරේ දී ආරම්භ කිරීමට මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍යවරුන් සුදානමින් සිටින බව විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් අබේසිංහ මහතා පවසයි.

    Latest News