රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

අගෝ 02, 2021

    දේශපාලන පලිගැනීම පිළිබඳව සොයා බැලූ කොමිසම විසින් තමන්ට එරෙහිව සිදුකර තිබෙන නිර්දේශ බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අග්‍රාමාත්‍ය හා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

    නීතීඥ දිනේෂ් විදානපතිරණ මහතා මාර්ගයෙන් ගොනු කර තිබෙන මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න ඇතුළු සාමාජිකයින්, එම කොමිසමේ ලේකම්වරිය සහ ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර නම් කර ඇත.

    පෙත්සම්කාර රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටින්නේ යහපාලන රජය සමයේ ක්‍රියාත්මක වූ දූෂණ මර්දන ලේකම් කාර්යාලය සම්බන්ධයෙන් වග උත්තරකරුවන් විසින් විමර්ශනයක් සිදුකළ බවට තොරතුරු වාර්තා වූ බවයි. අනතුරුව අදාළ කොමිෂන් සභාවේ වාර්තාව මගින් තමාට ද බලපාන නිර්දේශ කීපයක් ඉදිරිපත් කර තිබෙන බව මාධ්‍යවලින් ප්‍රචාරය වී තිබූ බවද ඔහු සඳහන් කර තිබේ.

    විමර්ශනවලදී කොමිෂන් සභාව විසින් තමන්ට එරෙහිව කිසිදු චෝදනා පත්‍රයක් ඉදිරිපත් නොකෙරුණු බව පෙන්වා දෙන රනිල් වික්‍රමසිංහ මහතා තමන්ගෙන් ප්‍රමාණවත් ලෙස නිදහසට කරුණු විමසීමක් සිදු නොකළ බවද අධිකරණය හමුවේ පෙන්වා දෙයි.

    දූෂණ මර්දන ලේකම් කාර්යාලය ස්ථාපිත කෙරුණේ එවක අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අනුව බවත් එහි වියදම් සියල්ල නීතියට අනුකූලව සිදු කර ඇති බවයි පෙත්සම්කාර වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ.

    නීතියට පටහැනි ලෙස සහ ස්වභාවික යුක්ති ධර්මය නැමැති නීතිමය මූලධර්මය උල්ලංඝනය කරමින් අදාළ පරීක්ෂණ කොමිෂන් සභාව විමර්ශන සිදුකර ඇතැයි චෝදනා කරන රනිල් වික්‍රමසිංහ මහතා එම කොමිෂන් සභාව විසින් සිදුකළ නිර්දේශයවලින් තමන්ට දැඩි අගතියක් සිදු වන බව ද පෙන්වා දී තිබේ.

    ඒ අනුව තමන් සම්බන්ධයෙන් එම කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබෙන නිර්දේශය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් රනිල් වික්‍රමසිංහ මහතා අභියාචනාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

    .

    Latest News