දිවයින පුරා එන්නත්කරණය සාර්ථකව ක්‍රියාත්මකයි

අගෝ 02, 2021

    බස්නාහිර පළාතේ ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට එහි දෙවැනි මාත්‍රාව ලබාදීම ඊයේ සිට සාර්ථකව සිදු කෙරේ.

    මේ අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම ද අද ආරම්භ කෙරිණ. බස්නාහිර පළාතේ එන්නත් මධ්‍යස්ථාන 77කදී ලබන 6 තෙක් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීම සිදු කෙරේ.

    ඇස්ට්‍රාසෙනෙකා දෙවැනි මාත්‍රාව ලබාදීම යුද හමුදාවේ මූලිකත්වයෙන් විහාර මහා දේවි උද්‍යානයේ දී ඊයේ සිට ක්‍රියාත්මකයි. එන්නත්කරණය පැය 24 පුරා සිදු කෙරේ. යුද හමුදාව ඉතා ක්‍රමවත්ව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව එය සංවිධාන කර ඇති අතර, එන්නත් ලබාදීම අදත් සාර්ථකව සිදු කෙරිණ.

    ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවැනි මාත්‍රාව බත්තරමුල්ල දියත උපයන පරිශ්‍රයේදී ද ලබාගත හැකි අතර, එය අද සිට ක්‍රියාත්මකයි. ලබන 4 තෙක් පැය 24 පුරා එන්නත් ලබාදීම සිදු කෙරේ. ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීම, කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අදත් සාර්ථකව ක්‍රියාත්මක කෙරිණ.

    Latest News