නව ජනමාධ්‍ය ඇමති රාජකාරි අරඹයි

අගෝ 16, 2021

    නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ ඩලස් අලහප්පෙරුම මහතා ජනමාධ්‍ය අමාත්‍යංශයේ දී අද (16) රාජකාරි ආරම්භ කළේ ය.

    රාජකාරි ආරම්භ කිරීමේ අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවීර මහතා, රජයේ ප්‍රවෘත්ති අධ්‍යෂජනරාල් මොහාන් සමරනායක මහතා ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරිහු පිරිසක් එක් වූහ.

    වත්මන් රජයේ විදුලි බල අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඩලස් අලහප්පෙරුම මහතා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (16) පෙරවරුවේ සිදු කළ අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් පසු ජනමාධ්‍ය අමාත්‍ය ධූරයට පත් කරනු ලැබීය.

    ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍ය ධුරයට පත් කොට තිබේ.

    අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා, මීට පෙර අධ්‍යාපන,ක්‍රීඩා,වෘත්තීය පුහුණු ආදී අමාත්‍යාංශ රැසක අමාත්‍යවරයකු ලෙස කටයුතු කර තිබේ. 2005 සිට 2015 දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික තනතුර හෙබ වූ ඩලස් අලහප්පෙරුම මහතා, 2015 සිට 2020 කාලය තුළ ඒකාබද්ධ විපක්ෂයේ ජාතික සංවිධායක ධුරයද හෙබවිය. එමෙන්ම 2016 සිට මේ වන තෙක් මාතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයා ලෙස ද කටයුතු කරන ඩලස් අලහප්පෙරුම මහතා පුවත්පත් ක්ෂේත්‍රයේ සිටි ප්‍රවීන ජනමාධ්‍යවේදියෙක් විය.

    Last modified on සදුදා, 16 අගෝස්තු 2021 16:55

    Latest News