21 වැනි සියවසට ගැළපෙන අධ්‍යාපනයක්; අගමැති කියයි (වීඩියෝ)

පෙබ 13, 2019

    21 වැනි ශතවර්ෂයට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක් ස්ථාපනය කළ යුතු බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ඒ, ඉදිරි ශතවර්ෂයේ අභියෝගවලට මුහුණදීමේ අරමුණින්. අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, කුරුණෑගල, බෝයගනේ “විශ්වෝදා“ ජාතික පාසල සිසු අයිතියට පත්කිරීමේ උත්සවයට අද එක්වෙමින්.

    අද පස්වරුවේ විද්‍යාලය වෙත ගිය අග්‍රාමාත්‍යතුමා, සමරු ඵලකය විවෘත කර එය සිසු අයිතියට පවරා තිබේ. අනතුරුව, නිරීක්‍ෂණ චාරිකාවකයට ද එතුමා එක්විය. පාසලේ ඉදිකිරීම් ඇරඹුණේ 2018 වසරේදී.

    පරිගණක විද්‍යාගාර, ශ්‍රවණාගාර, ඩිජිටල් පන්ති කාමර තාක්‍ෂණ පීඨ, පිහිනුම් තටාක ඇතුළු අංග සම්පූර්ණ පහසුකම්වලින් පාසල සමන්විතවේ. පළමු අදියරේ ඉදිකිරීම් සඳහා රුපියල් මිලියන 350ක් වැය කෙරිණ. සමස්ත ව්‍යාපෘතියට රුපියල් මිලියන දහසක් වැය කිරීමට නියමිතව ඇත.

    උත්සව සභාව ඇමතූ අග්‍රාමාත්‍යවරයා.... “මම අධ්‍යාපන ඇමතිවුණේ කාලයේ මේ පර්සනල් කම්පියුටර් කියන එක ආරම්භ වුණා විතරයි. පාසල්වලට කම්පියුටර් ලබලා දුන්නා. එදා තමයි රූපවාහිනි යන්ත්‍ර පාසල්වලට ගෙනාවේ. මෙන්න මෙහෙම පටන් ගත්තේ. එහෙත් අද තියෙන්නේ 21 වැනි ශතවර්ෂය. 21 වැනි ශතවර්ෂයේ අභියෝගවලට 20 වැනි ශතවර්ෂයේ අධ්‍යාපන ක්‍රමයකින් මුහුණ දෙන්න බැහැ. 21 වැනි ශතවර්ෂයට මුහුණ දෙන්න 21 වැනි ශතවර්ෂයේ අධ්‍යාපන ක්‍රමයක් ඇති කරන්න ඕනේ. දැන් අවුරුදු 13ක අධ්‍යාපනය අනිවාර්ය කළා. පින්ලන්තයේ ඉඳන් ද්විතිය වෘත්තිය අධ්‍යාපනය ලබාදීලා තියෙනවා. ඒ වගේ තවත් කාරණා ගනනාවක් තියෙනවා. මේ අවුරුද්දේ කිහිපයේ කළේ අධ්‍යාපන අඩුපාඩුකම් විසඳන්න පාසල්වලට ගොඩනැගිලි ලබලා දෙන්න, උපකරණ ලබලා දෙන්න, අලුත් ක්‍රමවේද ගැන බලන්න. දැන් ඒවා ක්‍රියාත්මක කරන්න ඊළඟ අවුරුදු 5-6දී අපි සම්පුර්ණයෙන්ම 21 වැනි ශතවර්ෂයට ඔබින අධ්‍යාපන ක්‍රමයක් ඇතිවෙන්න ඕනේ“ යැයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

     

    Last modified on බ්‍රහස්පතින්දා, 14 පෙබරවාරි 2019 15:39

    Latest News