ජීවනෝපාය අහිමි අඩු ආදායම්ලාභීන්ට 2000 දීමනාව අද සිට

අගෝ 23, 2021

    රජයෙන් කිසිඳු දීමනාවක් නොලබන අඩු ආදායම්ලාභී ජීවනෝපාය අහිමි වූ පවුල් සඳහා පමණක් රුපියල් 2000 දීමනාව අද(23) සිට ලබාදීමට තීරණය කර තිබේ.

    ඒ් බව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධන බළකාය පවසයි. ඒ අනුව රාජ්‍ය සේවකයන්, විශ්‍රාමිකයන්, සමෘද්ධි ප්‍රතිලාභීන්, වැඩිහිටි, සියවස් පූර්ණ, ආබාධිත වැනි රජයේ මාසික දීමනා ලාභීන් මේ සඳහා සුදුසුකම් නොලබන බව සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්, දිසාපතිවරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධන බළකායේ සම ලේකම්, අගමැති අතිරේක ලේකම් ඇන්ටන් පෙරේරා මහතාගේ අස්සනින් යුතු නිවේදනයක් නිකුත් කරමින් දන්වා තිබේ.

    මෙම ප්‍රතිලාභ ගෙවීමට අවශ්‍ය අතිරේක ප්‍රතිපාදන භාණ්ඩාගාරය විසින් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලබා දී ඇති අතර ඒ අනුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සහ ග්‍රාමීය කමිටුවේ සහාය ඇතිව ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමින් සේවයේ නියුතු නිලධාරීන් මඟින් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගත වෙමින් සුදුසු ක්‍රමවේදයන් යටතේ ප්‍රතිලාභීන් සඳහ දීමනාව ගෙවීමට කටයුතු කරන ලෙස එම නිවේදනයේ සඳහන් කර ඇත.

    එම දීමනාව අදාළ ප්‍රතිලාභියා විසින් ලබාගත් බවට සහතිකයක් ලබාගැනීමට කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවද එහි දන්වා තිබේ.

    Latest News