මංගල නික්මයයි.....

අගෝ 24, 2021

    කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා අද (24) උදේ අභාවප්‍රාප්ත විය.

    මිය යන විට ඔහුගේ වයස අවුරුදු 65 කි. සමරවීර මහතා රෝහල් ගත කෙරුණේ කොවිඩ් 19 රෝගය ආසාදනය වීම හේතුවෙනි. 1983 වසරේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මාතර මැතිවරණ බල ප්‍රදේශය නියෝජනය කරමින් දේශපාලනයට පිවිසි සමරවීර මහතා 1989 වසරේදී පළමු වරට පාර්ලිමේන්තුවට පිවිසුනි.

    1994 වසරේ සිට තැපැල් හා විදුලි සංදේශ, නාගරික හා ජනමාධ්‍ය යන අමාත්‍යාංශ ඇතුළු අමාත්‍යාංශ රැසක් බාරව ඔහු කටයුතු කර ඇත. 2009 වසරේදී එක්සත් ජාතික පක්ෂය සමග ඒකාබද්ධව නව දේශපාලන සංධානයක් බිහි කළ සමරවීර මහතා, පසුගිය යහපාලන රජයේ ද , විදේශ කටයුතු, මුදල් හා ජනමාධ්‍ය යන අමාත්‍ය ධූර දරන ලදි.

    දශක තුනකට අධික කාලයක් මැතිසබය නියෝජනය කළ සමරවීර මහතා,  සන්ධාන බිහිකිරීමෙහිලා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ පුද්ගලයෙකි. මංගල සමරවීර මහතාගේ පියා, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ 1960 - 1965 ආණ්ඩු සමයේ අමාත්‍යවරයෙකු වූ මහනාම සමරවීර මහතායි. මංගල සමරවීර මහතා මෙරට දේශපාලනයේ කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කළ පුද්ගලයෙකු ලෙස ප්‍රකටය.

    අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතාගේ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී අද පස්වරුවේ සිදු කෙරුණා. ඒ නිරෝධායන නීතියට අනුකූලවයි.

    Latest News