කාන්තාවන් 45000 කගේ ණය පොලි කපා හරියි (ඡයාරූප)

පෙබ 14, 2019

     

    නියගයෙන් පීඩාවට පත් දිස්ත්‍රික්කයන් හි කාන්තාවන් 45000 ලබාගෙන තිබු රුපියල් මිලියන 1400ක ක්ෂුද්‍ර මූල්‍ය ණය සහ පොලිය කපා හැරේ. 

    ක්ෂුද්‍ර මුල්‍යයාතන ණය වෙනුවට එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා පොලී සහන ණය යෝජනා ක්‍රමය යටතේ මෙම සහනය පිරිනැමීම අද සිදුකෙරිණ. ගිනි පොලියට වැට බඳින නව ක්ෂුද්රු මූල්යර පනත සූදානම්.

    නියගයෙන් පීඩාවට පත් දිස්ත්‍රික්කයන්හි කාන්තාවන් 45000ක් ලබාගෙන තිබූ ක්ෂුද්‍ර මූල්‍ය ණය සහ ඊට අදාළ පොලීමුදල් කපා හැරීමේ සහතික ප්‍රදානය කිරිමේ ජාතික උත්සවය අද (14) යාපනය වීරසිංහම් ශාලාවේදී පැවැත්විණි. 

    මෙම උත්සවය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණ. එහිදි යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල කාන්තාවන් 300කට අධික පිරිසකගේ ක්ෂුද්‍ර මූල්‍ය ණය කපා හැරීම සංඛේතවත් කරමින් සහතික පිරිනැමිණ.

    ක්ෂුද්‍ර මූල්‍යා ආයතනවල 200% ඉහළ පොලී අනුපාතයකට ණය ලබා ගැනීම වෙනුවට සම්පූර්ණයෙන් හෝ කොටසක් රජය මගින් පොලී ගෙවනු ලබන එන්ට්‍රයිස් ශ්‍රි ලංකා ණය යෝජනා ක්‍රමය හා එක්වන ලෙස අමාත්‍ය මංගල සමරවීර මහතා ඉල්ලා සිටියේය. එය උතුරේ ජනතාවට අතිශය වැදගත් වනු ඇති බවත් ඔහු කියා සිටියේය. ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනයට නව නීති රිතිවල අවශ්‍යතාව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ නව ක්ෂුද්‍ර මූල්‍ය පනත සකස් වෙමින් පවතින බවයි.

    උත්සවයේ දී ජනතාව ඇමතූ අමාත්‍ය මංගල සමරවීර මහතා “ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් අධික පොලියට කාන්තාවන් ලබා ගත් ණය මුදල් කපා හැරීම මේ ගැටලුවට කෙටි කාලීන විසඳුමක් පමණි. දිගු කාලීන විසඳුමක් සඳහා අදාළ නව නීති රීති හඳුන්වා දිය යුතු ය. එහි මුල්පියවර ලෙස රජය විසින් මෙම මූල්‍ය සමාගම් පොලිය 35%ක උපරිමයකට යටත් කොට තිබේ.

    එන්ටප්‍රයිස් ශ්‍රි ලංකා රජයේ සහන පොලී ණය යෝජන ක්‍රමය ද මීට සාර්ථක පිළිතුරකි. කුඩා කර්මාන්තකරුවන්ට, ගොවීන්ට, විශ්ව විද්‍යා සිසුන් ඇතුළු සියලුම පාර්ශ්ව නියෝජනය වන පරිදි මෙම ණය ලබා දෙනු ලබයි. ණය ක්‍රම 20කට අධික සංඛ්‍යාවක් හඳුන්වා දී ඇත්තේ ඔබ වැනි ජනතාව වෙනුවෙන්මය. රුපියල් ලක්ෂ 3 සිට මිලියන 750 දක්වා විශාල පරාසයක මේ ණය ලබා දෙනු ලබයි. 0% සිට 7% පමණ දක්වා වන පරාසයන් යටතේ මේ ණය වෙනුවෙන් ඔබගෙන් පොලිය අය කරනු ලබයි. නමුත් ඔබ නොගෙවන පොලියේ ඉතිරි කොටස ඔබ වෙනුවෙන් රජය අදාළ බැංකුව වෙත ගෙවනු ලැබිය යුතු ය. කාන්තා ඔබ වෙනුවෙන් තවත් 10%ක අතිරේක පොලී සහනාධාර ලබා දීමට ද අප සූදානම් යැයි ඔහු කියා සිටියේය. 

    මෙම අවස්ථාවට රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග, අකිල විරාජ් කාරියවසම්, රිසාද් බද්යුදීන්, විජයකලා මහේෂ්වරන්, එම්.ඒ. සුමන්දිරන්, මාවෙයි සේනාධිරාජා යන මැති ඇමැතිවරු සහ භාණ්ඩාගාර මහත්වරු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

    pm jaffna2 px 900 19 02 14

    pm jaffna1 px 900 19 02 14

    Last modified on බ්‍රහස්පතින්දා, 14 පෙබරවාරි 2019 18:53

    Latest News