අවුරුදු 20-30 අතර එන්නත්කරණය ඇරඹේ

සැප් 02, 2021

    වයස අවුරුදු 20ට වැඩි 30ට අඩු පිරිස් සඳහා වන එන්නත්කරණ වැඩසටහන අද (02) සිට දිස්ත්‍රික්ක මට්ටමින් ආරම්භ කිරීමට පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

    කොවිඩ් මර්දන ක්‍රියාවලියේ ඉදිරිපෙළ ක්‍රියාකාරීන් සඳහා එන්නත් ලබාදීමේ දී මෙම වයස් කාණ්ඩයේ පිරිස් සඳහා එන්නත් ප්‍රමාණයක් මේ වනවිට ලබාදී ඇතැයිද මෙයට අමතරව ඇඟලුම් කර්මාන්තය ඇතුළු අත්‍යවශ්‍ය අංශයන්හි එම වයස් කාණ්ඩයේ තරුණ තරුණියන්ද යම් ප්‍රමාණයක් එන්නත්කරණයට ලක් කර ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    වයස අවුරුදු 20-30 අතර තරුණ තරුණියන් සඳහා වන එන්නත්කරණයට මිලියන 3.7 ක පමණ පිරිසක් සිටින අතර කඩිනමින් එම කටයුතු අවසන් කරන ලෙස අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත.

    රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද (02) පැවති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය විය. එම සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ඇතුළු එහි සාමාජික සාමාජිකාවන් පිරිසක් මේ සඳහා එක් වූහ. කරුණු 18 කින් සමන්විත ලිපියක්ද රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය මගින් අමාත්‍යවරයා වෙත මෙහිදී භාර දෙනු ලැබීය. එහි අඩංගු කරුණු රැසක් සම්බන්ධයෙන් අමාත්‍යවරයා එම අවස්ථාවේදීම සාධනීය විසඳුම් ලබාදීම පිළිබඳව හෙද සංගමය අමාත්‍යවරයාට ප්‍රසාදය පළ කළේය.

    එළඹෙන සති දෙක තුන අවසන් වීමට පෙර වයස අවුරුදු 30 ඉක්මවූ සියලු පිරිස් පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමට හැකිවනු ඇතැයිද ඔක්තෝබර් අවසානයට පෙර අවුරුදු 18 ඉක්මවූ පුරවැසියන් සඳහා වන එන්නත්කරණය අවසන් කිරීමට හැකි වනු ඇතැයිද අමාත්‍යවරයා මෙහිදී විශ්වාසය පළ කළේය. ඒ අනුව "ලැබෙන එන්නත හොඳම එන්නත" ලෙසින් හිමිවන කුමන හෝ එන්නතක් කඩිනමින් ලබා ගන්නා ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටී.

    සෞඛ්‍ය සේවාවේ ඉහළ සිට පහළ දක්වා සෑම ශ්‍රේණියකම පිරිස් මේ මොහොතේ ඉටුකරන සේවාව රටෙහි සියලු පුරවැසියන්ගේ ප්‍රසාදයට ලක්ව ඇතැයි ද එනිසා එම සේවාවේ සාධනීය අවශ්‍යතා වෙනුවෙන් විෂය භාර අමාත්‍යවරයා ලෙස උපරිමයෙන් පෙනී සිටින බවද අමාත්‍ය රඹුක්වැල්ල මහතා මෙහිදී පැවසීය.

    Latest News