ශ්‍රී.ල.නි.ප. 70 වැනි සංවත්සරය අද (වීඩියෝ)

සැප් 02, 2021

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වැනි සංවත්සරය අදට යෙදී තිබෙනවා.

    ලාංකීය දේශපාලනය පොදුජන පන්තියට ගෙන ගිය පක්‍ෂයක් ලෙසයි, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සැලකෙන්නේ. 1951 සැප්තැම්බර් 02 වැනි දින එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පිහිටුවනු ලැබුවා. ඩී.ඒ. රාජපක්ෂ, ශ්‍රී නිශ්ශංක හා බර්නාඩ් අළුවිහාරේ වැනි නායකයින් පක්‍ෂය පුරෝගාමීන් වනවා.

    සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේගය පෙරටු කරගත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය බලයට පත්වූයේ 1956 වසරේදී. සිංහල, රාජ්‍ය භාෂාව බවට පත් කිරීමට, බස් හා වරාය ජනසතු කිරීම, 56 රජයේ ප්‍රගතිශීලී පියවර අතරට ඇතුළත්.

    1959 වසරේ බණ්ඩාරනායක මහතාගේ අභාවයෙන් පසු, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය පක්ෂයේ නායකත්වයට පත් වුණා. දේශීය ආර්ථිකය සවිමත් කරමින්, නව කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් හඳුන්වා දුන් යුගයක් ලෙසයි, මැතිණියගේ රාජ්‍ය පාලනය සැලකෙන්නේ.

    1977බලයට පත් ආණ්ඩුව එම සැලසුම් විනාශ කළද, ශ්‍රී ලංකාවට ගැලපෙන ප්‍රතිපත්තියක් ලෙස එය සැලකෙනවා. 1994 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණ යළි බලයට පත් වුණා.

    චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය එම පක්ෂයේ නායකත්වයට පත්වූයේ, 2000 වසරේදී. 2005 පක්ෂ නායකත්වයට පත් මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්වර්ණමය අවධිය ලෙස සැලකෙනවා.

    තිස් වසරක යුද්දය අවසන් කරමින්, සංවර්ධණ යුගයක් කරා රට ගෙන ගිය පාලන කාලයක් ලෙසයි, මහින්ද රාජපක්ෂ රජය ඉතිහාසයට එක් වන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ්ය ප්‍රමුඛ සන්ධානයක් වැඩිම කාලයක් බලයේ සිටි යුගය වන්නෙද, මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයයි.

    අනතුරුව, 2015 වසරේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට පත්වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිහාසයේ පළමු වරට එක්සත් ජාතික පක්ෂය සමග එක්ව ජාතික ආණ්ඩුවක් නිර්මාණය කළේ, මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 02 සැප්තැම්බර් 2021 20:05

    Latest News