සුනිල් සමුගනී...(වීඩියෝ)

සැප් 06, 2021

    මෙරට ජනප්‍රිය සහ කණ්ඩායම් සංගීතයේ පුරෝගාමියෙකු ලෙස සැලකෙන අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් පෙරේරා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (06) බොරැල්ල කනත්තේදී සිදු කෙරුණා.  

    අවසන් කටයුතු සිදු කෙරුණේ පවුලේ ඥාතීන් ඇතුළු සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන්. ඒ මහතා මිය යන විට ඔහු 68 වැනි වියේ පසුවුණා. පසුගිය මාසයේ කොවිඩ් රෝගය වැළඳීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබාගත් ඔහු සුව වී යළි නිවෙස වෙත පැමිණ තිබුනා. එහෙත් යළි රෝග ලක්‍ෂණ මතුවීම නිසා මීට දින තුනකට පෙර සුනිල් පෙරේරා මහතා යලි පෞද්ගලික රෝහලකට ඇතුළත් කෙරුණා. රෝගී තත්වය උත්සන්න වීම නිසා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණු ඔහු අද අළුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා.

    ඔහු, මොරටුව ශාන්ත සෙබස්තියන් සහ කොළඹ ශාන්ත පීතර යන විද්‍යාලවලින් අධ්‍යාපනය ලබා තිබෙනවා. පාසල් අධ්‍යාපනය අවසන් කළ ඔහු සිය පියා විසින් ආරම්භ කරන ලද "ජිප්සීස්" සංගීත කණ්ඩායමට එක්වූයේ 1969 වසරේ දී. 70 දශකයේ අතිශය ජනප්‍රිය වූ ළිඳ ළඟ සංගමය,  අම්මා අම්මා මේ මට, යන ගීත මෙන්ම කුරුමිට්ටෝ, ඔයෙ ඔජායේ, සිඤ්ඤෝරේ, ලොවේ සැමා, සයිමා කට්වෙලා, පිටි කොටපන් නෝනේ, අංකල් ජොන්සන් වැනි ගීත වර්තමානයේ ද අතිශය ජනප්‍රියව පවතී.  තමාටම ආවේණික වූ ශෛලයකින් ගීත ගායනා කළ සුනිල් පෙරේරා මහතා මෙරට බයිලා සංගීතය ප්‍රචලිත කිරීමට ද විශාල කාර්ය භාරයක් ඉටු කළා. මෙරට ප්‍රථම නන්ස්ටොප් කැසට් පටය වන "ජොලිය" ඔහුගේ නිර්මාණයක්. ගීතයෙන් සමාජ දේශපාලනික කරුණු උත්ප්‍රාසාත්මකව මතුකිරීම ඔහුගේ සංගීත කලාවෙහි විශේෂ ලක්‍ෂණයක්.  

    කණ්ඩායම් සංගීතයේ නව පෙරළියක් ඇති කරමින්, අදටත් එකසේ ජනප්‍රිය ගීත රැසක් ශ්‍රී ලාංකික සංගීත ක්‍ෂේත්‍රයට දායාද කළ ප්‍රවීන ගායන ශිල්පී සුනිල් පෙරේරා මහතාගේ අභාවය පිළිබඳව සිය සාතිශය සංවේගය පළ කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා. ඒ, සිය නිල ෆේස්බුක් සහ ට්විටර් ගිණුම්වල සටහන් තබමින්.  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද සුනිල් පෙරේරා මහතාගේ අභාවය සම්බන්ධයෙන් ශෝක පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. ගායකයෙකු සහ සංගීත ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයෙකු ලෙස සුනිල් පෙරේරා මහතා කළ පෙළහර ශ්‍රී ලංකාවේ ජන හදවත් තුළ සදා නොමැකෙන මතකයක් බවයි අග්‍රාමාත්‍යතුමාගේ ශෝක පණිවුඩයේ දැක්වෙන්නේ.

    Last modified on සදුදා, 06 සැප්තැම්බර් 2021 21:04

    Latest News