යහපාලන සමයේදී CTB මූල්‍ය අක්‍රමිකතා සිදුව ඇති බවට හෙළිවෙයි

ඔක් 08, 2021

    ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය, යහපාලන රජය සමයේ සිදුකළ මිලදී ගැනීම්වල දී ඇස්තමේන්තු මුදලට වඩා වියදම්කර ඇතැයි, කෝප් කමිටුවේදී හෙළිදරව් වී තිබේ.

    ඒ 2017 සහ 2018 වර්ෂ සඳහා වූ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීම සඳහා පැවති පාර්ලිමේන්තු කෝප් කමිටු රැස්වීමේදී.

    ලංකා ගමනාගමන මණ්ඩලය, රුපියල් කෝටි 15ක ණය මුදලක් මුදල් අමාත්‍යවරයාගේ අවසරයකින් තොරව 2018 දී ලබාගෙන ඇති බව හෙළිවී තිබේ. එම වසරේ දීම පරිගණක 139ක්, ලැප්ටොප් යන්ත්‍ර 74 ක් මිලදී ගැනීමට ඇස්තමේන්තු කර තිබියදී, එය ඉක්මවා පරිගණක යන්ත්‍ර 800ක් හා ලැප්ටොප් යන්ත්‍ර 47ක් මිලට ගෙන තිබේ. ඒ සඳහා ගමනා ගමන මණ්ඩලයේ සාමාන්‍ය ගිණුම්වලින් රුපියල් කෝටි 9කට ආසන්න මුදලක් වැයකර ඇති බව ද කෝප් කමිටුවේ දී අනාවරණය කෙරිණ.

    රුපියල් තුන්කෝටි තිස් හය ලක්ෂයකට අධික මුදලක් වැයකර ලංගම සුඛෝප‍භෝගී බස් රථ 125ක් සඳහා කැමරා සහ ජී.පී.එස්. උපාංග පෞද්ගලික සමාගමකින් මිලදී ගැනීමට ගිවිසුමකට එළඹ ඇතැයි,හෙළිවී තිබේ.
    එහෙත් එම උපකරණ නිවැරදි ක්‍රියාකාරී මට්ටමේ නොපවතින බවයි, වාර්තා වන්නේ.

    බස් රථවල සේවකයින් මෙම උපකරණවලට හිතාමතාම හානි සිදුකර ඇති බවත් ‍ඒ පිළිබඳව පරීක්ෂණයක් සිදුකරන බවත් කෝප් කමිටු නිළධාරීන් පවසයි. 2018 ද ගමනා ගමන මණ්ඩලය ඉලෙක්ට්‍රොකින් ටිකට් මැෂින් 1,000ක් ලබා ගැනීමට රුපියල් මිලියන 35ක් වෙන්කර තිබුනද පසුව ඒ සඳහා රුපියල් මිලියන 7.5කට අධික මුදලක් වැයකර තිබිණ.

    ඊට අමතරව 2017,2018,2019 සහ 2020 යන වසර වලට අදාළ වාර්ෂික වාර්තා තවමත් මුද්‍රණයවී නොමැති බව ද එහිදී අනාවරණය විය.

    ඒ අනුව මේ වසරේ දෙසැම්බර් 31 වැනි දිනට පෙර සියලු වාර්තා පාර්ලිමේන්තුවට සභාගත කරන ලෙස කෝප් කමිටුව නිර්දේශ කර තිබේ. කෝප් කමිටුව රැස්වුනේ එහි සභාපති ආචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන්.

    Latest News