නවම් පොහොය නිමිත්තෙන් දිවයින පුරා පිංකම්

පෙබ 19, 2019

    බුද්ධ ශාසනයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ නවම් පුර පසළොස්වක පොහොය දිනය අදයි. මේ නිමිත්තෙන් දිවයිනේ සෑම විහාරස්ථානයකම විශේෂ ආගමික වැඩසටහන් සංවිධානය කර තිබේ.

    බුදුරජාණන් වහන්සේ අගසවු දෙනම ලෙස සැරියුත් මුගලන් මහරහතන් වහන්සේ පත්කරනු ලැබීම, වේළුවනාරාමයේදී ප්‍රථම සංඝ සම්මේලනය පැවැත්වීම, සංඝ සමාජයේ අභිවෘද්ධියට හේතු වූ ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම හා බුදුන් වහන්සේ සිය ආයු සංස්කාරය අත්හැරීම අද වැනි පොහොය දිනක සිදු වී ඇතැයි ශාසන ඉතිහාසයේ සඳහන් වේ.

    නවම් පොහොය නිමිත්තෙන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සංවිධාන කරන සද්ධර්ම වර්ෂා පොහෝ දින ආගමික වැඩසටහන අද දවස පුරා විකාශය කෙරෙන්නේ පිංවත්ත පානදුර සද්ධර්මාකර විද්‍යායතන පිරිවෙන සිටයි. අටසිල්, බුද්ධ පූජා, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා ඇතුළු වැඩසටහන් රැසක් ඊට අයත් වේ. පෝදා ධර්ම දේශනය පැවැත්වූ දේශකයානෝ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති, ත්‍රිපිටකාචාර්ය පූජ්‍ය මීරගහවත්ත පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේ යි.

    ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳු කේන්ද්‍රකරගනිමින් අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් දවස පුරා වැඩසටහන් රැසක් අනුරාධපුර පුද බිමේදී සංවිධානය කර තිබේ. මහනුවර ශ්‍රී දළදා මාලිගාව කේන්ද්‍ර කරගනිමින් ද පොළොන්නරුව පූජා භූමිය ආශ්‍රිතව හා බදුල්ල මුතියංගණ රාජ මහා විහාරස්ථානයේ දී ද නවම් පොහොය නිමිත්තෙන් පිංකම් මාලාවක් පැවැත්වේ.

    Last modified on අඟහරුවාදා, 19 පෙබරවාරි 2019 10:53

    Latest News