ජනපතිගෙන් තායිලන්ත නව රජුට ශ්‍රී මහා බෝධි අංකුරයක්

පෙබ 19, 2019

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තායිලන්තයේ 10 වන රජු ලෙස අභිෂේක ලබන මහා වජිරලංකෝන් රජුට සුභාශිංසන සමඟ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ බෝධි අංකුරයක් තිළිණ කර තිබේ.

    ජනාධිපතිතුමා වෙනුවෙන් එම බෝධින් වහන්සේ රැගෙන තායිලන්තය බලා පිටත්ව ගොස් ඇත්තේ බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතායි. ඔහු විසින් ජනාධිපතිතුමාගේ සුභාශිංසන සමඟ බෝධි අංකුරය අද (19) තායිලන්ත රජු වෙත පිළිගන්වනු ලැබීණ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද මෙම අවස්ථාවට සහභාගීවීමට නියමිතව තිබුණි.

    තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් ථෙරවාදි බුදු දහම සුරක්ෂිත කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ගනු ලැබු සුවිශේෂ පියවරක් ලෙස සැලකේ. අභිෂේක ලබන තායිලන්ත රජතුමා වෙත ලැබුණු පළමු රාජ්‍ය තාන්ත්‍රික තිළිණය ද මෙය වේ.

    එම බෝධි අංකුරය තායිලන්තයේ අයෝධ්‍යා නුවර වජිරධම්මාරම විහාරස්ථානයේ රෝපණය කිරීම තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන්-ඕ-චා මහතා සහ අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා ඇතුළු එරට විශේෂ නියෝජිත පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි. ශ්‍රී ලංකා ජනාධිපතිතුමා විසින් තම හෘදයාංගම සුභාශිංසන සමග පිළිගන්වන ලද මෙම උතුම් තිළිණය දෙරට අතර විශ්වාසනීය මිත්‍රත්වයේ සහ සහෝදරත්වයේ නව සළකුණක් බව තායිලන්ත අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

    අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් වහන්සේ සහ තායිලන්ත ප්‍රධාන සංඝනායක හිමිවරුන් ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    Latest News