විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීමේ සූදානමක්

පෙබ 20, 2019

    2015 වර්ෂයේ විශ්‍රාම ගිය විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇතැයි රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ අද (20) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් ස්ථාවර නියෝග යටතේ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි. මේ සම්බන්ධයෙන් වැටුප් කොමිෂම සහ මහා භාණ්ඩාගාරය සමඟ සාකච්ඡා කරමින් පවතින බවද රජය විසින් ගන්නා ප්‍රතිපත්තිමය තීරණ අනුව රජයේ සේවකයින්ට හා විශ්‍රාමිකයින් සඳහා ජීවන වියදම් දීමනාව ලබාදෙන බවද අමාත්‍යවරයා පැවසී ය.

    ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝග දෙකක් අද (20) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි. විවාදය සඳහා යෝජනාව ඉදිරිපත් කරමින් අඳහස් දැක්වූ සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා, මෙම නියෝග දෙක මඟින් දේශීය ගොවියා ආරක්ෂා කොට ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට හැකියාව ලැබෙන බව පැවසීය.

    මෙමඟින් දේශීය කර්මාන්තකරුවන්ට විශාල පිටුවහලක් සැලසේ. දේශීය නිෂ්පාදකයින් ගැන සිතා රජය කටයුතු කරන බවත්, ජාවාරම්කරුවන්ගෙන් දේශීය නිෂ්පාදකයා ආරක්ෂා කිරීමට කටයුතු කරන බවත් කියා සිටියේය. රජය අපනයන ආර්ථිකය අලුත් දිශාවකට යොමු කර තිබෙන බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා, රට නිවැරැදි දිශාවකට ගමන් කරමින් සිටින බවද පැවසීය.

    Last modified on බදාදා, 20 පෙබරවාරි 2019 18:40

    Latest News