ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ විශේෂ නිවේදනය.  

දෙසැ 04, 2021

    පාකිස්තානයේ කර්මාන්ත ශාලාවක සේවය කළ ශ්‍රී ලාංකික වෘත්තිකයෙකු වන ප්‍රියන්ත කුමාර මහතාඅමානුෂික ලෙස  ඝාතනය කිරීම පිළිබඳමම මහත් සංවේගයට පත්වීමි.

    එම ම්ලේච්ඡ සිදුවීම ශ්‍රී ලාංකිකයන්ට සේම මනුෂ්‍යත්වය අගයන ලෝකයේ සැමට බලවත් කම්පනයකි. අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ප්‍රමුඛපාකිස්තානු රජය මෙම ම්ලේච්ඡ ඝාතනය සිදුවූ වහාම යුක්තිය පසිඳලීමට ගත් ක්‍රියාමාර්ග පාකිස්තානයේ අත්‍යන්ත මිතුරෙකු ලෙස ශ්‍රී ලංකාව අගය කරන අතර මේ පිළිබඳ පාකිස්තාන රජය ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග දෙස ද ශ්‍රී ලංකා රජයත්, සමස්ත ජනතාවත් දැඩි විශ්වාසයෙන් බලා සිටිමු.

    එසේම පාකිස්තානයේ වෙසෙන සෙසු ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කරන ලෙස  පාකිස්තාන රජයෙන් මම ඉල්ලා සිටිමි. සිදුවීම සැලවූ වහාම ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ විදේශ කටයුතු අමාත්‍යාංශයට සහ පාකිස්තානයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට මා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ලබා දුන් උපදෙස් අනුව ඔවුන් මේ වන විට  ක්‍රියාත්මක වෙමින් සිටී.

    කුමන ස්වභාවයකින් පැමිණිය ද අන්තවාදී ක්‍රියාකාරකම් සමාජය දැඩිව ව්‍යාකූල කරන්නේය. එබැවින් අන්තවාදයට එරෙහිව ලෝකයම එකම අරමුණක සිට ක්‍රියාකළයුතු බව මෙවැනි සිදුවීම් තුළින් තව තවත් තහවුරු වේ.

    මෙම අවාසනාවන්ත සිදුවීමෙන් මේ මොහොතේ දැඩි කම්පනයට පත් ප්‍රියන්ත කුමාර මහතාගේ පවුලේ සමීපතමයන් සමග මමත්, රජයත්, සමස්ත ශ්‍රී ලාංකික ජනතාවත් සිටින බව සිහිපත් කරමි.

    Latest News