'ජනතාව වෙනුවෙන් සංවර්ධන ව්‍යාපෘති අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා' - අමාත්‍ය ගාමිණී ලොකුගේ

දෙසැ 09, 2021

    කොවිඩ් අභියෝගය සහ විපක්ෂය විසින් හිතාමතා ඇතිකරන අභියෝගවල සාර්ථකව මුහුණ දෙමින් රජය ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කළ යුතු සංවර්ධන ව්‍යාපෘති සියල්ල අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් රටේ ජනතාවගේ ආර්ථිකය නඟාසිටුවීමට කටයුතු කරන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ (08) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

    එහිදි අදහස් දැක්වූ අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා....

    "විපක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කරලා. අද මේ මොහොත වන කොට ඒ අය වර්ජනය අවසන් කරලා පාර්ලිමේන්තුවට ඇවිත් සිටිනවා. ඒ වගේම කොවිඩ් අර්බුදය නිසා ලෝකයේ ආර්ථිකය විශාල අර්බුදයකට පත්වෙලා තිබෙනවා. ලංකාවත් ඒකට බරපතල ලෙස මුහුණ දෙන තත්වයකට පත්වෙලා තිබෙනවා. ඒ එක්කම විදුලි අර්බුදය නිසා විශාල විදුලිය කඩා වැටිමකට ගිහිල්ලා යම්තම් ඒක සමතයකට පත්වෙලා අද රටේම විදුලිය ලබාදෙන්න පුළුවන් තත්වයකට
    පත්වෙලා සිටිනවා. අපි ඊයේ වෙනකොට ජනාධිපතිතුමා මැදිහත්වෙලා වෘත්තිය සමිති එක්ක එකඟතාවයකට පැමිණියා කිසිම ප්‍රශ්නයක් නැතිව අඛණ්ඩව විදුලිය ලබා දෙන්න කියලා.

    මොකද අපි රජයක් හැටියට මේ රජය බලයට පත්වෙනකොට අපි කවුරුත් බලාපොරොත්තු වුණේ නෑ මේ වගේ කොවිඩ් අර්බුදයක් මේ රටට මතුවෙයි කියලා. අද මේ කොවිඩ් තත්වය නිසා ලෝකයම ආර්ථික අර්බුදයකට ලක්වෙලා තිබෙනවා. නමුත් අපි රජයක් හැටියට විවිධ ප්‍රශ්න පැමිණියත් ඒ හැම එකකටම මුහුණදිලා කටයුතු කරනවා.

    දැන් පොහොර ප්‍රශ්නයක් මතු වුණා. මේ වන විට කාබනික පොහොරත්, අනෙකුත් පොහොර වර්ග දිලා සෑහෙන ප්‍රමාණයකට ප්‍රශ්නය සමතයකට පත්වෙලා තිබෙනවා. ඒ එක්කම ප්‍රධාන ප්‍රශ්නය තමයි අපේ ප්‍රධාන විදුලි මාර්ගවල කඩා වැටීමක් ඇති වුණා. නමුත් අපිට පුළුවන් කමක් ඇතිවුණා ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරු මැදිහත්වෙලා එය සමතයකට පත්වුණා.

    නමුත් ගිය සතියේ දවල් කාලයේ කඩා වැටුණා. එය නිවැරදි කරන්න අපිට ටික කාලයක් ගියා. අපේ ගල් අඟුරු බලාගාරයත් නඩත්තු කටයුත්තකට නවත්තපු නිසයි. අද එය සම්පූර්ණයෙන් කරලා ස්ථිරසාරව විදුලි කඩාවැටීමක් නැතිව මේ රට ගෙනියන්න පුළුවන් තත්වයකට පලත්වෙලා තිබෙනවා. ඇපි රජයක් හැටියට විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමා, අගමැතිතුමා, මුදල් ඇමතිතුමා මේ සෑම අර්බුදයකටම මුහුණදිලා මේ ප්‍රශ්නය විසඳන්න කටයුතු කරනවා.

    ඒ එක්කම අපි අයවැය ලේඛනයෙන් මේ රටේ ව්‍යවසායකයින් නඟා හිටවන්න විවිධ ව්‍යාපෘති සඳහා මුදල් වෙන් කරලා තිබෙනවා. මෙයින් අපි බලාපොරොත්තු වන්නේ ආර්ථිකය කඩා වැටි සිටින ජනතාවට ශක්තිමත්ව ස්වයං රැකියා ආරම්භ කරලා කටයුතු කරන්න."

    Latest News