හිජාස් හිස්බුල්ලාගේ ඇප ඉල්ලීමට නීතිපති විරුද්ධවෙයි

දෙසැ 09, 2021

    නීතීඥ හිජාස් හිස්බුල්ලා ඇප මත මුදා හරින්නැයි,‍ ගොනු කරනු ලැබ ඇති පෙත්සමට විරෝධතා ඉදිරිපත් කරන බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට අද දැනුම් දුන්නේය. පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකපිට ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

    පෙත්සම සළකා බැලුණේ ‍මේනකා විජේසුන්දර, නීල් ඉද්දවෙල යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේදී. රැඳවුම් බාරයේ පසුවන නීතීඥ හිජාස් හිස්බුල්ලාට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පුත්තලම මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් නඩු පවරා තිබේ. එම නඩුවට අදාළ ඇප නියම කරන ලෙස සැකකරුගේ නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටි‍යේය.

    එම ඇප ඉල්ලීමට තමන් විරුද්ධ වන බවත් විරෝධතා ඉදිරිපත් කිරීම සදහා දිනයක් ලබාදෙන ලෙසත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    නඩුවට අදාළ විරෝධතා ජනවාරි 13 වැනිදාට පෙර ගොනු කරන ලෙස නීතිපතිවරයාට නියෝග කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම ලබන ජනවාරි 18 වැනිදා විභාගයට ගන්නා ලෙස දැනුම් දුන්නේය.

    Latest News