ත්‍රිකුණාමල දිස්ත්‍රික් මහ රෝහලේ තදබදයට විසඳුමක්

දෙසැ 28, 2021

    ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ පවතින අධික තදබදය හේතුවෙන් එම රෝහල වෙනත් ස්ථානයක් කරා ගෙන යාමට අවධානය යොමුව තිබේ. එම රෝහල් භූමියේ ඉඩ පහසුකම් නොමැති වීම මෙන්ම මුහුදු සීමාවේ පැවතීම වැනි ගැටලු කිහිපයක්ද මෙයට අමතරව පැනනැගී තිබේ.

    මෙම කරුණු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) එම අමාත්‍යාංශයේදී පැවැත්විණි. නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියද මෙම අවස්ථාවට එක්ව සිටියාය.

    ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයයේ ප්‍රධානතම රෝහල වන මෙහි වසර 100 ක් ඉක්මවූ ගොඩනැගිලි කිහිපයක්ද තිබෙන අතර පවතින තත්ත්වය මත එහි තවදුරටත් ඉදිකිරීම් සිදු කිරීමට ප්‍රමාණවත් ඉඩ පහසුකම් නොමැති බව මෙහිදී අනාවරණය විය.

    මේ අතර ජයිකා ව්‍යාපෘතිය යටතේ රු. බිලියන 2.2 ක්ද එම රෝහලේ ව්‍යාපෘතියට හිමිව තිබේ. ඒ අනුව නව රෝහල ත්‍රිකුණාමලය නගරයෙන් පිට එහෙත් නගරයට ආසන්න ස්ථානයක ඉදි කිරීමට සාකච්ඡා කෙරුණු අතර මේ අනුව ත්‍රිකුණාමලය සද්ධාපුර ප්‍රදේශයට එය ගෙන යාම පිළීබඳව වැඩි අවධානයක් යොමු විය.

    ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මෙම රෝහලට අමතරව මූලික රෝහල් 04 ක්ද, ප්‍රාදේශීය රෝහල් 14 ක් හා ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර ඒකක 17 ක්ද තිබේ.

    මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අදහස් දක්වමින් , මෙම ව්‍යාපෘතියට මූල්‍යමය ආධාර වෙන් වී ඇති බැවින් කඩිනමින් එහි කටයුතු ආරම්භ කළ යුතු බවත් එමෙන්ම ජනතාවට ඉක්මනින් සෞඛ්‍ය සේවාවන් ලබා දිය හැකි වන පරිදි මෙය අදියර තුනක් යටතේ ඉදි කිරීමට සැලසුම් කිරීම වඩාත් සුදුසු බවත් පැවසීය.

    මෙම අවස්ථාව සඳහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකෝරල, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

    Latest News