වකුගඩු රෝග සහන සත්කාරක හා සුබසාධන මධ්‍යස්ථානය විවෘත කෙරේ

පෙබ 25, 2019

    පසුගිය යුගයේ ජාතික ඛේදවාචකයක් බවට පත්ව තිබූ වකුගඩු රෝගය නිවාරණය වෙනුවෙන් ගෙන ගිය පුළුල් වැඩපිළිවෙළ හේතුවෙන් පසුගිය වසර දෙක තුළ වකුගඩු රෝගින්ගේ ව්‍යාප්තියේ අඩුවක් දක්නට ලැබෙන බව ජනාධිපතිතුමා පවසයි.

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ජාතික වකුගඩු අරමුදලේ රුපියල් මිලියන 628ක මූල්‍ය ප‍්‍රතිපාදන උපයෝගි කරගනිමින් මහනුවර මහ රෝහලට අනුබද්ධිත ව ඉදිකරන ලද වකුගඩු රෝග සහන සත්කාරක හා සුබසාධන මධ්‍යස්ථානය අද (25) ජනතා අයිතියට පවරාදීමෙන් අනතුරුව ගැටඹේ කි‍්‍රඩාංගණයේ පැවති ජන හමුව අමතමිනි.

    රජයේ කිසිදු මුදලක් වැය නොකරමින් පූර්ණ ලෙසම ජාතික වකුගඩු අරමුදලේ ප‍්‍රතිපාදන මත මෙම මධ්‍යස්ථානය ඉදිකර තිබීම විශේෂත්වයකි. මෙරට වකුගඩු රෝගින් වෙනුවෙන් සුවිශේෂ මෙහෙවරක් ඉටුකළ විශේෂඥ වෛද්‍ය තිලක් අබේසේකර මහතාගේ නමින් මෙම මධ්‍යස්ථානය නම් කිරීමට ජනාධිපතිතුමා කටයුතු කර තිබේ.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ ප‍්‍රතිකාර අංශ ශක්තිමත් කිරීම මෙන් ම රෝග නිවාරණ සහ වැළැක්වීම පිළිබඳව ද විශේෂ අවධානයක් යොමුකර වැඩසටහන් කි‍්‍රයාත්මක කළ යුතු බවයි. එහිදී භෞතික මෙන්ම මානව සම්පත් ද එක ලෙස සංවර්ධනය කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
    එමෙන් ම ජනාධිපතිතුමා මෙහිදී බලධාරින්ට උපදෙස් දුන්නේ වකුගඩු රෝගින් වෙනුවෙන් රජය ලබාදෙන දීමනාව එම රෝගයෙන් පීඩා විඳින සෑම පුද්ගලයෙකුට ම ලබාදීම අත්‍යවශ්‍ය බවයි. ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් පුළුල් කරමින් මෙම රෝගයෙන් වැළකී සිටීම පිළිබඳ නිවැරදි භාවිතයන් ඔවුන්ගේ පෞද්ගලික ජීවිතයට එක්කර ගැනීමට හුරු කිරීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය.

    Neee px 900 25 02 19

    සත් මහල් වකුගඩු රෝග සහන මධ්‍යස්ථානය රුධිර කාන්දුකරණ ඒකකයකින් සහ රෝගි ජනතාවට නේවාසික පහසුකම් සැපයීමේ නේවාසිකාගාරයකින් සමන්විත ය. දිනකට වකුගඩු රෝගීන් 150 කට පමණ රුධිර කාන්දුකරණය කිරීමේ පහසුකම්, වකුගඩු රෝගින් පෙර හඳුනාගැනීමේ සායන හා පරික්ෂණ පහසුකම්, වකුගඩු රෝගින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සඳහා නවාතැන් පහසුකම්, වකුගඩු රෝගින් හා අනෙකුත් අවශ්‍යතා ඇති පිරිස් සඳහා උපදේශන සේවාවන් පැවැත්වීමේ පහසුකම් මෙන් ම වකුගඩු රෝග නිවාරණයට අදාළ පර්යේෂණ පහසුකම්, වකුගඩු රෝගීන් සඳහා අනෙකුත් ප‍්‍රතිකාර හා පරික්ෂණ කටයුතු සිදුකිරීමට පහසුකම් ද මෙහි සලසා තිබේ.

    පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්වන සමයේ තම ප‍්‍රචාරක කටයුතු වෙනුවෙන් ලද අරමුදල් උපයෝගි කරගනිමින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් ස්ථාපිත කරන ලද ජාතික වකුගඩු අරමුදල මේ වන විට දෙස්-විදෙස් දානපතීන්ගේ ආධාර මත ශක්තිමත් අරමුදලක් බවට පත්ව ඇත. අදාළ අරමුදලේ ප‍්‍රතිපාදන යොදාගනිමින් වකුගඩු රෝගීන්ගේ සුබසාධන කටයුතු, රෝගී ප‍්‍රතිකාර සඳහා අවශ්‍ය යටිතල පහසුම් සම්පාදනය, වකුගඩු රෝගය නිවාරණය සඳහා සහ රෝග මූලය හඳුනාගැනීම සම්බන්ධව සිදුකෙරෙන පර්යේෂණ සඳහා දායකත්වය දැක්වීම හා වකුගඩු රෝගී අවදානම් ප‍්‍රදේශ සඳහා පිරිසිදු පානීය ජලය සම්පාදනය ඇතුළු ව්‍යාපෘති රැසක් කි‍්‍රයාත්මක කරමින් පවතී.

    ඒ අතර මහනුවර මහ රෝහලට අනුබද්ධිත ව ඉදිකෙරෙන මෙම වකුගඩු රෝගී සහන සත්කාර හා සුබසාධන මධ්‍යස්ථානය සුවිශේෂී ව්‍යාපෘතියක් වන අතර මීට අමතරව මෙවන් තවත් ව්‍යාපෘති 02ක් අනුරාධපුරයේ හා ගිරිඳුරුකෝට්ටේ ප‍්‍රදේශවල ඉදිකෙරෙමින් පවතී. අනුරාධපුර වකුගඩු රෝගී සහන සත්කාර හා සුබසාධන මධ්‍යස්ථානය ලබන මාසය වන විට ජනතා අයිතියට පවරාදීමට හැකිවනු ඇති බව ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.

    සමරු ඵලකය නිරාවරණය කර විශේෂඥ වෛද්‍ය තිලක් අබේසේකර වකුගඩු රෝගී සහන සත්කාර හා සුබසාධන මධ්‍යස්ථානය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය. අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ශ‍්‍රී ධම්මදස්සී අනුනායක ස්වාමින් වහන්සේ ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. අනතුරුව මහනුවර ගැටඹේ කි‍්‍රඩාංගණයේ පැවති ජන හමුවේ දී ශ‍්‍රී ලංකාවේ සමස්ථ වකුගඩු රෝගීන් වෙනුවෙන් සහ වකුගඩු ආසාදන රෝග මූලය සොයා ගැනීම වෙනුවෙන් අසම සම සේවාවක් ඉටුකළ සහ වකුගඩු රෝගය මෙරටින් තුරන් කිරීමට කැපවී සිටින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය විශේෂඥ වෛද්‍ය තිලක් අබේසේකර මහතාගේ සේවය අගයමින් විශේෂ සම්මාන තිළිණයක් පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

    වකුගඩු රෝගී පවුල් 670 ක් සඳහා ගෘහස්ථ ජල පෙරණ යන්ත‍්‍ර ලබාදීම සංකේතවත් කිරීම, වකුගඩු රෝගීන් 500 දෙනෙකුට රුධිර පීඩන මාපක ලබාදීම සංකේතවත් කිරීම, වකුගඩු රෝග නිවාරණය පිළිබඳ දීප ව්‍යාප්තව පාසල් දරුවන් අතර පැවති තරඟාවලියේ මහනුවර දිස්ති‍්‍රක්කයේ ජයග‍්‍රාහක සිසුන්ට සම්මාන හා තිළිණ පිළිගැන්වීම ඇතුළු වැඩසටහන් රැසක් ද ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදු විය. 

    ජාතික වකුගඩු අරමුදල සඳහා නිරෝගා ලොතරැයියේ දායකත්වය අගයමින් 2019 ජනවාරි මාසයට අදාළ දායකත්වය වන රුපියල් මිලියන 09.06 ක චෙක්පත ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම ද සිදු වූ අතර ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වකුගඩු රෝග නිවාරණය වෙනුවෙන් සිදු කරනු ලබන සුවිශේෂී කැපවීම උදෙසා උපහාර පුද කරමින් මහනුවර දිස්ති‍්‍රක් වකුගඩු ආරක්ෂණ සංගමය විසින් ජනාධිපතිතුමා වෙත ද විශේෂ උපහාර තිළිණයක් පිළිගැන්වීය.

    එමෙන් ම මහනුවර දිස්ති‍්‍රක් වකුගඩු රෝග සහන සත්කාරක හා සුබසාධන මධ්‍යස්ථානය කඩිනමින් ඉදිකර ජනතා අයිතියට පවරාදීමට දායක වූ ශ‍්‍රී ලංකා යුද හමුදා නිලධාරින් ද ජනාධිපතිතුමා අතින් ඇගැයීමට ලක් විය. මේ අතර ජගත් සෞඛ්‍ය සංවිධානයේ ගෞරවාන්විත මාතෘ සත්කාර ඒකකයක් ලෙස වැඩිදියුණු කෙරුණු පේරාදෙණිය රෝහලේ විශේෂ ළඳරු ඒකකය සහ නව ජන්ම දැඩි සත්කාර ඒකකය ද අද (25) විවෘත කෙරුණේ ජනාධිපතිතුමා අතිනි. සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

    Last modified on සදුදා, 25 පෙබරවාරි 2019 20:03

    Latest News