කිඹුලාගේ ග්‍රහණයට හසුවූ පුද්ගලයා මරුට.....(වීඩියෝ)

ජන 03, 2022
  • දෙහිවල මුහුදේ කිමිදී විසිතුරු මසුන් අල්ලන්නෙකු ලෙස වෘත්තියේ නිරත වූ පුද්ගලයෙක්, කිඹුලෙකුගේ ප්‍රහාරයන් ජිවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

    අද පෙරවරුවේ, මෙම පුද්ගලයා කිඹුලාගේ ග්‍රහණයට හසුව ඇති බවයි, දෙහිවල පොලිසිය පවසන්නේ. මෙලෙස මියගොස් ඇත්තේ රත්මලාන පදිංචි 53 හැවිරිදි එක්දරු පියෙක්. විසිතුරු මසුන් ඇල්ලීමට ඔහු මුහුදේ කිමිදුනු අවස්ථාවකදී අඩි 15කට ආසන්න දිගින් යුත් කිඹුලෙකු ඔහු ඩැහැගෙන යන ආකාරය ධීවරයන් පිරිසක් දැක තිබෙනවා. ධීවරයින් ඔහු බේරා ගැනීමට උත්සාහ කළත්, කිඹුලාගේ ග්‍රහණයට හසුවීමෙන් පපු ප්‍රදේශයට හා අතකට බරපතල තුවාල සිදුවුණා.

    පසුව ඔහු කළුබෝවිල රෝහලට රැගෙන ගිය ද ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බව ප්‍රදේශවාසීන් පවසනවා. සිද්ධියෙන් අනතුරුව ද කිඹුලා එම මුහුදු තීරයේ සිටින අයුරු දක්නට ලැබුණා. ගැට කිඹුල් විශේෂයට අයත් මෙම සත්වයා, කරදිය ආශ්‍රිතව ද වෙසෙන අවස්ථා වාර්තා වී ඇති බවයි, පරිසරවේදීන් පවසන්නේ. අත්තිඩිය වනජීවි කාර්යාලයේ නිලධාරීන්, කිඹුලා අල්ලා ගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

    Latest News