කොවිඩ් වසංගතය හමුවේ අභියෝග ජයගත්තා; අගමැති

ජන 05, 2022

    කොවිඩ්-19 වසංගතය හමුවේ වුව ද 2021 වර්ෂය තුළ නිවාස ඉදිකිරීම් හා නාගරික සංවර්ධන ක්ෂේත්‍රවල ඉලක්කගත අභියෝග ජය ගැනීමට හැකි වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසනවා.

    ඒ, 2022 වර්ෂය සඳහා අමාත්‍යාංශයේ වැඩසැලැස්ම ඉදිරිපත් කිරීමේ අවස්ථාවට අද (05) බත්තරමුල්ල සුහුරුපාය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී එකතු වෙමිනි.  2022 වර්ෂයේ දී නිවාස ඉදිකිරීම් හා නාගරික සංවර්ධන ක්ෂේත්‍රයට එල්ල වන අභියෝගවලට මුහුණ දීමට සුදානම් බව ද අග්‍රාමාත්‍යවරයා එහි දී කියා සිටියා.  

    PM2 900px 22 02 05

    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ රාජ්‍ය අමාත්‍යාංශ 04ක් ක්‍රියාත්මක වන අතර ඒ, නාගරික සංවර්ධන අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය, වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය, ග්‍රාමීය නිවාස ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය සහ වෙරළ සංරක්ෂණ හා පහත්බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයයි.  

    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශ ලේකම් ලේකම් සිරිනිමල් පෙරේරා මහතා අමාත්‍යාංශය 2021 වර්ෂයේ පෙන්නුම් කළ ප්‍රගතිය හා 2022 වර්ෂයේ වැඩසැලැස්ම ඉදිරිපත් කරන ලදි. ඉන් අනතුරුව එක් එක් රාජ්‍ය අමාත්‍යාංශ නියෝජනය කරමින් රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු 2022 වර්ෂය සඳහා යෝජිත වැඩසැලැස්ම ඉදිරිපත් කළහ. 

    නාගරික සංවර්ධන අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ද වන සිරිනිමල් පෙරේරා මහතා අදහස් පළ කරමින් සියක් නගර ව්‍යාපෘතියේ වැඩකටයුතු සියයට 70ක් දැනටමත් අවසන් කර ඇති බවත්, නව අයවැය යෝජනා යටතේ තවත් නගර 118ක් සංවර්ධනය කිරීමේ සැලසුම ක්‍රියාත්මක බවත් සඳහන් කළේ ය. එමෙන් ම කිසිදා සංවර්ධනය නොවු නගර මෙන් ම ගම්බද ප්‍රදේශ සංවර්ධනය සඳහා විශේෂ වැඩපිළිවෙළක් ඉදිරියට ක්‍රියාත්මකවන බව ප්‍රකාශ කළේ ය.

    PM3 900px 22 02 05

    ග්‍රාමීය නිවාස ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් කීර්ති අබේවර්ධන මහතා අදහස් පළ කරමින් ග්‍රාමීය නිවාස යෝජනා ක්‍රමය යටතේ ඉදිකළ නිවාස 20,000ක සංඛ්‍යාවෙන් 15,000ක දැනටමත් අඩු ආදායම්ලාභීන් පදිංචි කර ඇතැයි පෙන්වා දුන්හ. එමෙන් ම ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය අමුද්‍රව්‍ය රට පුරා ක්‍රියාත්මක ශාඛා 18ක් ඔස්සේ සාධාරණ මිලට පාරිභෝගිකයන්ට ලබා දීමට හැකියාව ලැබී ඇතැයි ද හෙතම කියා සිටියේ ය.

    වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතා අදහස් පළ කරමින් වතු නිවාස 10,000 වැඩසටහන මෙන් ම ඉන්දු ලංකා මිත්‍රත්ව වැඩසටහන යටතේ නව නිවාස 900ක් ඉදිකිරීමේ වැඩසටහන ද සාර්ථකව ක්‍රියාත්මක බව කියා සිටියේ ය. වතුකරයේ වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන ඇති කිරීම මෙන් ම වතු නිවාසවල ජීවත්වන, මේ දක්වා ඒවායේ නිත්‍යානුකූල අයිතියක් නොමැති පවුල් සඳහා එම අයිතිය ලබා දීමට ද රාජ්‍ය අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව මෙහි දී වැඩිදුරටත් ප්‍රකාශ විය.

    වෙරළ සංරක්ෂණ හා පහත්බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් එල්.එල්.ඒ. විජේසිරි මහතා මෙහි දී පෙන්වා දුන්නේ සාගරයට සිදුවන හානි අවම කිරීම වෙනුවෙන් වෙරළ සංරක්ෂණ කළමනාකරණ මධ්‍යස්ථානයක් අලුතින් පිහිටුවීමට අවධානය යොමුව ඇති බවයි. කුලී පදනම මත සිටින නිවාසවල අයිතිය හිමිවන "කුලී සින්න" නිවාස යෝජනා ක්‍රමයක් ඉදිකිරීම වෙනුවෙන් රුපියල් මිලියන 2,500ක් වෙන් කර ඇති බවත්, මහල් නිවාස හිමිකම් ඔප්පු නොමැති පවුල් සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ එම ඔප්පු 10, 000ක් ලබා දීමේ වැඩසටහනක් කඩිනමින් ක්‍රියාත්මක කරන බවත් මෙහි දී අනාවරණය විය.  ඉලක්කගත අභියෝග ජයගැනීම වෙනුවෙන් කැප වූ අමාත්‍යාංශයේ සියලු නිලධාරී මහත්ම මහත්මීන් වෙත අග්‍රාමාත්‍යවරයා සිය ප්‍රණාමය පුද කරන ලදි.  

    මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරු වන ආචාර්ය නාලක ගොඩහේවා, ඉන්දික අනුරුද්ධ, ජීවන් තොන්ඩමන්, මොහාන් පී. ද සිල්වා, නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් සිරිනිමල් පෙරේරා, අතිරේක ලේකම් එම්.එම්.එස්.එස්.බී. යාලේගම, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු වන ඉංජිනේරු කීර්ති අබේවර්ධන, ඩී.පී.ජී. කුමාරසිරි, එල්.එල්.ඒ. විජේසිරි සහ ආයතනවල සභාපතිවරු, අධ්‍යක්ෂ ජනරාල්වරු ඇතුළු රාජ්‍ය නිලධාරී මහත්ම මහත්මීහු පිරිසක් එක්ව සිටියහ.

    Latest News