මේ දුෂ්කර කාලයේ ජනතාවගේ පීඩාවන් ඉවත් කරන්න සූදානම් - අගමැති

ජන 07, 2022

    මේ දුෂ්කර කාලයේ ජනතාව හමුවේ තියෙන විවිධ පීඩාවන් එකින් එක ඉවත් කරන්න ආණ්ඩුවක් විදියට සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

    කුරුණෑගල මාවතගම ජල සම්පාදන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමෙන් අනතුරුව මාවතගම ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී පැවැති උත්සව සභාව අමතමින් අගමැතිතුමා ඊයේ (06) පස්වරුවේ මේ බව සඳහන් කළේය. මහවැලි ගඟෙන් ලබාගන්නා ජලය කටුගස්තොට ජල පිරිපහදුවෙන්, පිරිපහදුකර ගලගෙදර හරහා මාවතගමට ගෙන යන මෙම ව්‍යාපෘතියෙන් දශක කිහිපයක් තිස්සේ පිරිසිදු පානීය ජල හිඟයෙන් පීඩා විදි මාවතගම සහ ඒ අවට ග්‍රාමසේවා වසම් 28 කට සෙත සැලසෙයි. මාවතගම ආයෝජන ප්‍රවර්ධන මණ්ඩල කර්මාන්ත පරිශ්‍රය සඳහා දිනකට අවශ්‍ය ඝන මීටර් 500 ක ජල අවශ්‍යතාවයද මෙමඟින් ආවරණය වේ. මාවතගම ජල සම්පාදන ව්‍යාපෘතිය සඳහා වැය වූ සම්පූර්ණ මුදල රුපියල් මිලියන 3126 කි. මෙය දේශීය බැංකු අරමුදල් යටතේ ක්‍රි යාත්මක වූ ‍ජල යෝජනා ක්‍රමයකි. ‍

    අමරපුර ස්වේජින් මහා නිකායේ වෑඋඩ විල්ලි හත්පත්තුවේ ප්‍රධාන සංඝනායක, කැන්දගොල්ල භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ඨානාචාර්ය පුජ්‍ය පනාවල ධම්මින්ද ස්වාමීන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මෙහි වැඩමකර සිටියහ. අමාත්‍යවරුන් වන වාසුදේව නානායක්කාර, ජොන්ස්ටන් ප්‍රනාන්දු, වයඹ ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, රාජ්‍ය අමාත්‍යවරුන්වන සනත් නිශාන්ත, ඩී.බී හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන ගුණපාල රත්නසේකර ,සමන්ප්‍රියය හේරත්, අසංක නවරත්න, යූ.කේ සුමිත්, මංජුලා දිසානායක, කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ, මාවතගම ප්‍රාදේශීය සභාවේ සභාපති කමල් පෙරේරා, කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ සභාපති අචල නිමන්ත, මාවතගම ප්‍රාදේශීය ලේකම් එම්.එම්. ජානක මහත්ම මහත්මීහු ඇතුළු ජනතා නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    Latest News