ජනපති ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගනී...

ජන 08, 2022

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (08) පෙරවරුවේ ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ ආශීර්වාද ලබා ගත්තේය.  

    පුදබිමට පැමිණි ජනාධිපතිතුමා අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැදැක උන්වහන්සේගේ සුවදුක් විමසා බැලීය. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනාමාන කිරීමට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් ඉදි කෙරෙන රථගාලේ ඉදිකිරීම්වල වත්මන් තත්ත්වය පිළිබඳව ජනාධිපතිතුමා අටමස්ථානාධිපති නාහිමියන් සමඟ සාකච්ජා කළේය.  ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී මහා සංඝරත්නය සෙත් පිරිත් සඡ්ජායනා කර ජනාධිපතිතුමාට ආශීර්වාද පළ කළහ.  

    HE2 900px 22 01 08

    මෙවර පහ වසර ශිෂ්‍යත්ව සහ අ.පො.ස. උසස් ‍පෙළ විභාගවලට පෙනී සිටින දරුවෝ විශාල පිරිසක් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කිරීමට පැමිණ සිටි අතර, ජනාධිපතිතුමා ඔවුන්ගේ විභාග කටයුතුවලට ආශිර්වාද පළ කළේය.  පැමිණි සිටි ජනතාව ජනාධිපතිතුමා දැක බලා ගැනීමට සහ ජනාධිපතිතුමා සමඟ කතාබහ කිරීමට විශාල උනන්දුවක් දැක්වූ අතර, ජනාධිපතිතුමා ද ඔවුන් සමීපයට ගොස් තොරතුරු විමසා බැලීය.  රුවන්වැලි මහා සෑ පුදබිමට ඊයේ (07) පස්වරුවේ පැමිණි ජනාධිපතිතුමා රුවන්වැලි මහා චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. පල්ලේගම හේමරතන හිමියෝ උන්වහන්සේ රචිත ගීත ඇතුළත් ග්‍රන්ථයක් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූහ.  

    HE3 900px 22 01 08

    අනතුරුව සෑරඳුන් අභියස ආගමික වතාවත්වල නිරත වූ ජනාධිපතිතුමා වාරිමාර්ග අමාත්‍යාංශය මඟින් නව වසරට සෙත් පතා පුදබිමේ සිදු කළ ආශීර්වාද පූජාවට ද එක් විය. ඊයේ දිනයේ රුවන්වැලි මහා සෑ පුදබිමට විශාල ජනතාවක් රැස් ව සිටි අතර, ජනාධිපතිතුමා ඔවුන් සමඟ ද කතාබහ කරමින් තොරතුරු විමසා බැලීය.  අමාත්‍ය චමල් රාජපක්ෂ, එස්.එම්. චන්ද්‍රසේන, රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන, සිරිපාල ගම්ලත්, අනුරාධ ජයරත්න සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරු ද මෙම අවස්ථාවට එක් ව සිටියහ.

    Last modified on සෙනසුරාදා, 08 ජනවාරි 2022 18:21

    Latest News