සෞඛ්‍ය වර්ජනයට එරෙහිව වාරණ නියෝගයක්...

පෙබ 10, 2022

    සෞඛ්‍ය සේවය අඩාල වන අයුරින් සිදුකරනු ලබන වැඩ වර්ජන අත්හිටුවන ලෙස දන්වමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.  

    නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කළ කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා විසින් රජයේ හෙද සේවා සංගමය සහ එහි කැඳවුම්කරු සමන් රත්නප්‍රිය යන අය වෙත මෙම වාරණ නියෝගය නිකුත් කර තිබෙනවා.

    එම වාරණ නියෝගය ලබන 24 වනදා දක්වා බලපැවැත්වෙන බවයි අධිකරණ නියෝගයේ සඳහන් වුණේ.  එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා වගඋත්තරකරුවන් වෙත අධිකරණය නොතිසි ද නිකුත් කළා.  

    පැමිණිල්ල ඉදිරිපත් කළ නීතිපතිවරයා අධිකරණය හමුවේ සඳහන් කර තිබෙන්නේ අසාධාරණ ඉල්ලීම් මුල්කරගනිමින් වගඋත්තරකාර වෘත්තීය සමිති විසින් ක්‍රියාත්මක කරන වැඩවර්ජනය හේතුවෙන් සෞඛ්‍ය සේවාව අඩාල වන තත්ත්වයකට පත්ව ඇති බවයි.  

    මේ හේතුවෙන් රෝගීන් දැඩි අසරණ භාවයකට පත්ව සිටින බවත්, පැමිණිල්ල තුළින් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.  අසාධාරණ ඉල්ලීම් මුල් කර ගනිමින් ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩවර්ජනය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් එය අත් හිටුවන ලෙස දන්වමින් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසත් පැමිණිල්ලෙන් ඉල්ලා තිබෙනවා.  

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ දිසා විනිසුරුවරයා අනතුරුව එම වාරණ නියෝගය නිකුත් කරනු ලැබුවා.

    Latest News