විදෙස්ගත ශ්‍රී ලාංකික වෘත්තිකයින්ගේ ජාලය එළිදකී...

පෙබ 21, 2022

    ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධනය උදෙසා වූ ජාතික විද්‍යා පදනම (NSF) මුල්කර ගත් විදෙස්ගත ශ්‍රී ලාංකික වෘත්තිකයින්ගේ ජාලය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී එළිදැක්විණි.

    විද්‍යා තාක්ෂණ හා නවෝත්පාදන ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර සම්බන්ධතා ජාතික සංවර්ධනයට දායක කර ගැනීම උදෙසා ජාතික විද්‍යා පදනම මඟින් මෙම සංවිධානය බිහි කොට තිබේ. ලොව පුරා සිටින ශ්‍රී ලාංකිකයන් 950කට අධික පිරිසක් මෙම ජාලය හා දැනට සම්බන්ධ වී සිටිති.

    මෙරට සංවර්ධනයට දායක වීම සඳහා උනන්දුවක් දක්වන ශාස්ත්‍රීය, පර්යේෂණ හා සංවර්ධන ආයතන හා කර්මාන්ත අංශයේ ඉහළ තනතුරු දරන විදෙස්ගත ශ්‍රී ලාංකික කීර්තිමත් විද්‍යාඥයින් හා වෘත්තිකයින් සඳහා විශ්වාසනීය හා ප්‍රායෝගික යාන්ත්‍රණයක අවශ්‍යතාව ඉටුකිරීම මෙහි ප්‍රධාන අරමුණකි. උසස් අධ්‍යාපනය හා එහි ධාරිතාව වර්ධනය උදෙසා වැඩි අවස්ථාව ලබා දීම, අධ්‍යාපන සහයෝගීතාව හා පර්යේෂණ සහයෝගීතාව ඉහළ නැංවීම ඇතුළු පුළුල් අරමුණක් යටතේ ජාතික විද්‍යා පදනම (NSF) සහ ශ්‍රී ලංකා මෘදුකාංග හා සේවා සමාගම් සංගමය (SLASSCOM) අතර අවබෝධතා ගිවිසුමකට එළැඹීම ද මෙහි දී සිදු විය.

    විද්‍යා ජෝති ආචාර්ය බන්දුල විජේ (අමෙරිකාව), මහාචාර්ය ඩිලන්ත ප්‍රනාන්දු (කැනඩාව), මහාචාර්ය මොන්ටි කාසිම් (ජපානය), මහාචාර්ය ශාන්ති මෙන්ඩිස් (ස්විට්සර්ලන්තය), මහාචාර්ය ඩිලන්ති අමරතුංග (එක්සත් රාජධානිය), මහාචාර්ය සමන් හල්ගමුගේ (ඕස්ට්‍රේලියාව) යන මහත්ම මහත්මීහු වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම උත්සව සභාව ඇමතූහ.

    විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, ජාතික විද්‍යා පදනමේ සභාපති මහාචාර්ය රංජිත් සේනාරත්න යන මහත්වරු ඇතුළු ජාතික විද්‍යා පදනමේ සාමාජික සාමාජිකාවෝ සහ ශ්‍රී ලංකා මෘදුකාංග හා සේවා සමාගම් සංගමයේ ප්‍රධානී සැන්ඩ්‍රා ද සොයිසා මෙනවිය ඇතුළු එම සංගමයේ නියෝජිත පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    01PM02 900px 22 02 21

    01PM03 900px 22 02 21

    Last modified on සදුදා, 21 පෙබරවාරි 2022 19:10

    Latest News