එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් අන්තර් ක්‍රියාකාරී සංවාදයේදී ශ්‍රී ලංකාවට පුළුල් සහයක් - අමාත්‍ය ජී එල් පීරිස්

මාර් 09, 2022

    ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් අන්තර් ක්‍රියාකාරී සංවාදයේදී ශ්‍රී ලංකාවට පුළුල් සහයෝගයක් හිමි වූ බව, විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා ප්‍රකාශ කරනවා.

    ප්‍රතිසංවිධානය සඳහා වන රජයේ ප්‍රයත්නයන්ට මෙහිදී අන්තර් ජාතික සහය ඵලවී තිබෙනවා. අද (09) කොළඹ පැවති, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා මේ බව කියා සිටියා. එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරයේ, අන්තර් ජාතික ක්‍රියාකාරී සංවාදයේ ශ්‍රී ලංකාව පිළිබඳ මහ කොමසාරිස්වරියගේ වර්තාව ඉකුත් සිකුරාදා හා සඳුදා යන දිනයන්හිදී සලකා බැලුණා.

    එම විවාදයට සහභාගී වූ, ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ නායක, අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා, ජාත්‍යන්තර මානව හිමිකම් පිළිබඳ වගකීම් ස්වේච්ඡාවෙන් අඛණ්ඩව පවත්වාගෙන යාමට, ශ්‍රී ලංකාවේ ඇති කැපවීම පැහැදිලි කළා. ඊට සාමාජික රටවල් 45 න් 31 ක් සහය පළ කර තිබුණා. එම රටවල් ගෝලීය දකුණ නියෝජනය කළ පාර්ශව වීම විශේෂත්වයක්. ආසියානු, අප්‍රිකානු හා ලතින් අමෙරිකානු යන කලාපීය 03ටම අයත් රටවල් ඒ අතර වුණා. ඇතැම් රටවල්, ශ්‍රී ලංකාවේ ස්ථාවරයට විරුද්ධ මත දැරූවන් වීම ද තවත් සුවිශේෂී කරුණක් ලෙසයි සලකනු ලබන්නේ.

    Latest News