''වාරණය'' වත්මන් රජයේ මාධ්‍ය ප්‍රතිපත්තිය නොවේ - ජනමාධ්‍ය ඇමති

මාර් 11, 2022

    ''වාරණය'' වත්මන් රජයේ මාධ්‍ය ප්‍රතිපත්තිය නොවන බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද (11) පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේ ය.

    ''නියාමනය '' රජයේ මාධ්‍ය ප්‍රතිපත්තිය බවත් ලෝකයේ සෑම රටකම තිබෙන ප්‍රජාත්‍රන්තවාදී ආකෘතිය මෙය බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මාධ්‍ය සංවිධාන, සිවිල් සංවිධාන සහ ලෝකයේ දියුණු රාජ්‍ය සමඟ එක්ව නව මාධ්‍ය පිළිබඳ අධ්‍යනය කර මෙරට පුවත්පත් සංශෝධන පනත කෙටුම්පත නැවත අධ්‍යනය කිරීමට බලාපොරොත්තු වන බවද ප්‍රකාශ කළේය.

    සමාජ මාධ්‍ය පාලනය කිරීම සඳහා නව නීති පැනවීමට අදහස් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා යොමුකළ වාචික පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යරයා මේ අඳහස් පැවසීය.

    වසර 1973, එනම් මීට වසර 49කට පෙර ආරම්භ කළ පුවත්පත් පනත සංශෝධනය සඳහා 2021 වසරේ අනුමැතිය ලැබී තිබේ. දීර්ග කාලයක් ජනමාධ්‍ය විෂයෙහි අමාත්‍යධූර දැරූ අමාත්‍යවරු මේ සඳහා මූලික පියවර ගෙන ඇත. භාෂණායේ නිදහස ආරක්ෂා කර පුරවැසියාගේ පුද්ගලික සීමාව ආක්‍රමණය නොකර මෙම වැඩපිළිවෙළ කිරීමට කර්තෘ සංසදය, විද්‍යුත් ප්‍රකාශකයන්ගේ සංගමය ඇතුළු සියළු දෙනාම එක්ව කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ද ප්‍රකාශ කළේය.

    වසර ගණනාවක් තුළ මාධ්‍ය ක්ෂේත්‍රය විශාල වශයෙන් ප්‍රසාරණය වී ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, අද වන විට මුද්‍රිත මාධ්‍ය 20ක්, රූපවාහිනී නාලිකා 26ක් සහ ගුවන් විදුලි නාලිකා හා ප්‍රාදේශීය මාධ්‍ය ඇතුළුව සමාජ මාධ්‍ය නොවන මාධ්‍ය 140ක් පමණ මාධ්‍ය ප්‍රමාණයක් මෙරට අතැයිද ප්‍රකාශ කළේය.

    අද වන විට මාධ්‍යවේදියාට වෘත්තීය පුහුණුවක් ලබා ගැනීම සඳහා නිවැරදි ආයතනයක් නොමැති බව පෙන්වා දුන් අමාත්‍යවරයා වෘත්තීය මාධ්‍යවේදියෙක් බිහිකිරීමට අවශ්‍ය ආයතනයක් නොමැති බව පෙන්වා දුන්නේය.

    වත්මන් රජය ඒ සඳහා කැපවෙමින් එළඹෙන සැප්තැම්බර් මාසය වන විට වරලත් ජනමාධය ආයතනය ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

    Latest News