අගමැතිතුමා, කන්කසන්තුරේ සිමෙන්ති කම්හලේ නිරීක්ෂණ චාරිකාව...

මාර් 20, 2022

    යුද්ධය හේතුවෙන් වැසී ගිය ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවට අයත් කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ වර්තමාන තත්ත්වය සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා.

    1950 වර්ෂයේ ආරම්භ කළ කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාව එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී යුද ගැටුම් හේතුවෙන් 1990 දී වසා දැමුණා. මෙම කර්මාන්ත ශාලාවට අක්කර 728ක භූමි ප්‍රදේශයක් අයත් වුවත් අද වන විට එම භූමියේ බොහෝ ප්‍රදේශ ජනාවාස බවට පත්ව තිබෙනවා.

    2021 පෙබරවාරි 08 වැනිදා ගත් කැබිනට් මණ්ඩල තීන්දුවට අනුව ඉදිරි සංවර්ධන කටයුතු සඳහා කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ ප්‍රයෝජනයට ගත හැකි ගොඩනැගිලි පමණක් ඉතිරි කොට අනෙකුත් ගොඩනැගිලි විනාශ කර දැමීමට තීරණය වුණා. අදාළ ගොඩනැගිලිවලින් සියයට 80ක් පමණ නැවත ප්‍රතිසංස්කරණය කොට ප්‍රයෝජනයට ගත හැකි බව මේ වන විට අනාවරණය වී තිබෙනවා. ඒ සම්පත් ද භාවිත කරමින් කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාව නැවත ගොඩනැගීම රජයේ ඉලක්කය වී තිබෙනවා.

    නිරීක්ෂණ චාරිකාවට පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්, ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ සභාපති නීතිඥ ගාමිණී ඒකනායක යන මහත්වරු ද එක්ව සිටියා. ඉන් අනතුරුව අග්‍රාමාත්‍යතුමා මාවිඩපුරම් කන්දසාමී කෝවිලට ගොස් එහි ආගමික වතාවත්වල ද නිරත වුණා. එහි ප්‍රධාන පූජක රට්න සභාපති කුරුක්කල්තුමා අගමැතිතුමාට ආශීර්වාද කරමින් විශේෂ පූජාවක් පැවැත් වූවා. පූජකතුමා විශේෂ සිහිවටන තිලිණයක් ද ප්‍රදානය කළා.

    පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන යන මහත්වරු ද මෙම ආගමික වතාවත් සඳහා එක්ව සිටියා.

    Latest News