සර්ව පාක්ෂික සමුළුව අද

මාර් 23, 2022

    රටේ වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පැවැත්වෙන සර්ව පාක්ෂික සමුළුව අද (23) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

    ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වෙන මෙම සමුළුවට සහභාගී වන ලෙස සියලු දේශපාලන පක්ෂ නියෝජිතයින්ට දැනුම් දී තිබෙන බවයි වාර්තා වන්නේ.

    ඊට සහභාගී වන බවට දේශපාලන පක්ෂ 07ක් තහවුරු කර ඇතැයි ද වාර්තා වෙයි. ඒ අතරට එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය මෙන්ම යෝජනාව ඉදිරිපත් කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද අයත්.

    රජයේ හවුල්කාර පක්ෂ 10ක් නියෝජනය කරමින් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් හා මහාචාර්ය තිස්ස විතාරණ මහතා සමුළුවට සහභාගී වීමට තීරණය කර තිබේ. 

    කෙසේ වෙතත්, පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ 06 ක් සමුළුවට සහභාගී නොවීමටයි තීරණය කර තිබෙන බවද වාර්තා වෙයි. සමගි ජන බලවේගය, ජාතික ජනබලවේගය, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංෂික පෙරමුණ, ලංකා කම්කරු කොංග්‍රසය ඒ අතරට අයත්.

    රටේ වත්මන් තත්වයට විසඳුම් සෙවීමේ අරමුණින් සර්වපාක්ෂික සමුළුවක් කැඳවන ලෙස දේශපාලන පක්ෂ කිහිපයක් රජයෙන් ඉල්ලා සිටියේය.  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, සර්වපාක්ෂික සමුළුව කැඳවන්නේ ඒ අනූවයි.  පවතින ආර්ථික අර්බුදය හමුවේ ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සෙසු පක්ෂවල අදහස් ලබාගැනීම මෙහි අරමුණයි. 

    Last modified on බදාදා, 23 මාර්තු 2022 10:12

    Latest News