ප්‍රථම වරට වාහන අංක තහඩු දේශීයව නිෂ්පාදනය කිරීමට පියවර

මාර් 30, 2022

    රථ වාහන අංක තහඩු ප්‍රථම වරට මෙරට නිෂ්පාදනය කිරීම සඳහා කොළොන්නාවේ පිහිටි රජයේ කර්මාන්ත ශාලාව තීරණය කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

    ප්‍රථම වරට රථ වාහන අංක තහඩු දේශීයව නිෂ්පාදනය කිරීම සහ එතුළින් වාර්ෂිකව විදේශ රටවලට ඇදී යන අතිවිශාල මුදල් ප්‍රමාණය ඉතිරි කරගැනීමට සැලසුම් කරමින් සිටින බව කොළොන්නාව රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවේ කළමනාකරණ අධ්‍යක්ෂ කේ.පී. වතුගේ මහතා විසින් පෙන්වා දෙයි.

    දැනට දේශීය පෞද්ගලික සමාගමක් හරහා ක්‍රියාත්මක වන වාහන අංක තහඩු කොටස් ආනයනය කිරීමේ කොන්ත්‍රාත්තුව 2024 වසරේ සිට අවසන් වීමට නියමිතයි. ඒ අනූව එම වසරේ සිට රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව විසින් මෙම වාහන අංක තහඩු කොටස් දේශීයව නිෂ්පාදනය කිරීම අරඹයි.

    මේ පිළිබඳව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා සමඟ රජයේ කර්මාන්ශාලා දෙපාර්තමේන්තුවේ පාලනාධිකාරීත්වය සාකච්ඡාවට කිහිපයක් පවත්වා තිබේ. ඒ අනුව මෙම වාහන අංක තහඩු කොටස් දේශීයව නිෂ්පාදනය කිරීමේ කොන්ත්‍රාත්තුව පිළිබඳව අවසන් ව්‍යාපෘති සැලසුමක් සහ ඉංජිනේරු වාර්තාවක් ඉදිරි මාස 06 ඇතුළත මෝටර් රථ වාහන කොමසාරිස්වරයාට ලබාදීමට නියමිතව තිබේ.

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත හා සංඛ්‍යා ලේඛනවලට අනුව, වසරකට වාහන ලක්ෂ 05 ක් පමණ මෙරට ලියාපදිංචි කරයි. ඒ අනුව, අවම වශයෙන් වසරකට වාහන අංක තහඩු ලක්ෂ 10 ක පමණ ඇනවුමක් විදෙස් රටවලට ලබාදෙයි. මේ අනුව, වසරකට රුපියල් මිලියන 600 ක් පමණ මුදලක් විදේශයන්ට ඇදීයයි.

    මෙම වාහන අංක තහඩු නිෂ්පාදනය කිරීම සඳහා විශේෂ ඇළුමිනියම් තහඩුවක් යොදාගනියි. වාහන අංක තහඩු සෑදීම අදියර දෙකක් යටතේ සිදුකරන අතර පළමු අදියර යටතේ අර්ධ වශයෙන් නියමිත ප්‍රමාණයට සැකසූ තහඩු කොටස් ආනයනය කෙරේ. මේ සඳහා වාර්ෂිකව වැයකරන මුදල රුපියල් මිලියන 600 කි.

    එසේ ආනයනය කළ තහඩු කොටස් අකුරු සහ ඉලක්කම් මතුවන සේ දෙවැනි අදියර යටතේ තෙරපීමකට (එම්බ්‍රෝස්) ලක්කෙරේ. ඒ දේශීය කොන්ත්‍රාත් සමාගමක් මඟිනුයි. ඒ සඳහා රුපියල් මිලියන 300 ක මුදලක් වාර්ෂිකව වැයවෙයි. එම මුදල රට තුළ රැදෙතත් එය රාජ්‍ය අංශයෙන් පෞද්ගලික අංශ්‍යයට බැහැරවීම සිදුවෙයි. ඒ අනුව වසරකට වාහන අංක තහඩු නිෂ්පාදනය සඳහා රුපියල් මිලියන 900 ක මුදලක් වැය වෙයි.

    Latest News