මාතෘභූමිය ත්‍රස්තවාදයෙන් මුදාගෙන අදට (18) වසර 13ක්.... (වීඩියෝ)

මැයි 18, 2022
  • කොටි ත්‍රස්තවාදයෙන් ශ්‍රී ලංකා භූමිය පූර්ණ ලෙස නිදහස් කරගෙන අදට වසර 13ක් සපිරෙනවා.

    මේ මතක ආවරජනය ඒ පිළිබඳවයි. ඒ වන විට සිය සාහසිකත්වය සහ මිලේච්ඡත්වය ලොවටම ප්‍රදර්ශනය කර තිබූ එල්.ටී.ටී.ඊ. සංවිධානය සිය අවසන් ගමන් යාම ආරම්භ කළේ, 2006 ජුලි මාසයේදී. ඒ, ඔවුන්ගේ මිලේච්ඡත්වය හා එදිරිවාදීකම කෘෂිකාර්මික ජල සැපයුමක් වසා දමා යළි ප්‍රදර්ශනය කරමින්.

    සේරුනුවර මාවිල්ආරු අමුණ වසා දමා කෘෂිකාර්මික හා පානීය ජල සැපයුම් අත්හිටුවූ කොටි ත්‍රස්තවාදීන් සේරුනුවර ගොවිජනපද ව්‍යාපාරයේ අක්කර 30,000කට ආසන්න කෘෂිකාර්මික ඉඩම් ප්‍රමාණයකට හානි සිදුකළා. එම නිසා ප්‍රදේශයේ දස දහස් සංඛ්‍යාත පවුල් සංඛ්‍යාවකට සිය දෛනික අවශ්‍යතා සඳහා ජලය නොමැතිවීමෙන් උද්ගතවූයේ දැඩි අර්බුදයක්. අමුණ විවෘත කරන ලෙස රජයෙන් කළ ඉල්ලීම හා දැනුම්දීම් කිසිවක් නොතකන ලද පසුබිමක අවසානයේ සිදුවූයේ අමුණ විවෘත කරගැනීමට මානුෂීය මෙහෙයුමක් ආරම්භ කිරීමයි.

    ඒ අනුව, සති 02ක පමණ ක්‍රියාන්විතයකින් පසු යළි ගොවීන්ගේ ජල සැපයුම සපයාදීමට යුද හමුදාව සමත් වුණා. ඒ සමගම නැගෙනහිර පළාතේ ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරීත්වය මුළුමණින්ම අතුගා දැමීමේ ක්‍රියාන්විතය ආරම්භ කිරීමට එවකට ජනාධිපති, මහින්ද රාජපක්ෂ මහතා ත්‍රිවිධ හමුදාවට නියෝග කළා.

    එවක ආරක්ෂක ලේකම්, වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සම්බන්ධීකරණයෙන් හා යුද හමුදාපති, ලුතිනන් ජනරල් සරත් ෆොන්සේකා ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ සැලසුම්සහගත යුද නායකත්වයෙන් නැගෙනහිර පළාතේ ත්‍රස්තවාදය තුරන් කිරීමේ මෙහෙයුම් ආරම්භ කළේ ඒ අනුවයි.

    එකල එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පාලනය පැවති සාම්පූර්, වෙරුගල්, පේරාරු, වාකරේ, කදිරවේලි, තොප්පිගල සහ කන්ජිකුඩිච්චිආරු ප්‍රදේශ දක්වා එම ක්‍රියාන්විතය ව්‍යාප්ත කෙරුණා. දශක 02කට වැඩි කාලයක් කුරිරු ත්‍රස්තවාදයෙන් බැටකමින් බොහෝ කලක් වනගතව රැය පහන් කරමින් සිටි නැගෙනහිර පළාතේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවට පූර්ණ නිදහස හිමිවූයේ 2007 ජුලි මාසයේ නැගෙනහිර පළාත මුළුමණින්ම ත්‍රස්තවාදයෙන් තොර බවට ප්‍රකාශයට පත් කිරීමත් සමගයි.

    ඉන් අනතුරු ත්‍රස්තවාදයෙන් සමස්ත ශ්‍රී ලංකාවම මුදා ගැනීමේ ඊලඟ පියවර තැබූ ආරක්ෂක හමුදාව මන්නාරම සිලාවතුර ප්‍රදේශයෙන් ක්‍රියාන්විතය ආරම්භ කළා. එම ප්‍රදේශය මුදාගත් පළමු කාර්ය සේනාංකය පසුව, වත්මන් යුධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අණදුන් 58 සේනාංකය බවට, පත්වී අඩම්පන් ප්‍රදේශය ඔස්සේ මන්නාරමෙන් උතුරට සිය මෙහෙයුම් ක්‍රියාත්මක කළා. ඊට සමගාමීව 57 සේනාංකය වව්නියා ඉරනෙයිඉලුප්පායිකුලම්, ප්‍රදේශයෙන් ද 59 සේනාංකය වැලිඔය ප්‍රදේශයෙන් ද ත්‍රස්තවාදය නිමා කිරීමේ මානුෂීය ක්‍රියාන්විතයට පියවර තැබුවා.

    දෙවන කාර්ය සේනාංකය පාලෙමොටෙයි ප්‍රදේශයෙන් ද තුන්වන කාර්ය සේනාංකය වන්නිවිලන්කුලම් ප්‍රදේශයෙන් ද, හතරවන කාර්ය සේනාංකය නෙදුන්කර්නි ප්‍රදේශයෙන් ද සිය මෙහෙයුම් ආරම්භ කරමින් ත්‍රස්තවාදය පරාජය කිීමේ සටන වේගවත් කිරීමට එක්වුණා. ඒ අතරවාරයේ උතුරේ ජාතික පෙරමුණ වූ කිලාලි මුහමාලේ නාගර්කෝවිල් ආරක්ෂක වලල්ල රැකගනිමින් සිටි 53 හා 55 සේනාංක ත්‍රස්තවාදී බැමි බිඳ දමමින් දකුණු දෙසට මෙහෙයුම් ක්‍රියාත්මක කළා.

    සටන් පෙරමුණු 09කින් තෙරපීමකට ලක්කළ කොටි සංවිධානයට එරෙහිව අවසන් වශයෙන් ක්‍රියාන්විතයට එක්වූයේ 08වන කාර්ය සේනාංකයයි. 2009 පෙබරවාරි මාසය වන විට මේ සටන් පෙරමුණු සියල්ලෙන්ම අන්ත පරාජයකට පත්වෙමින් පැමිණි ත්‍රස්තවාදී කල්ලිය පුදුකුඩුඉරුප්පු ආශ්‍රිත වර්ග කිලෝමීටර් කිහිපයක බිම් කඩකට සීමා වුණා.

    එහිදී ඔවුන් සිය ආරක්ෂක පලිහ ලෙස යොදාගත්තේ උතුරු පළාතේ ලක්ෂ සංඛ්‍යාත සාමාන්‍ය වැසියන්. අහිංසක සිවිල් වැසියන්ට හානියක් සිදුනොවන අයුරින් ත්‍රස්තවාදීන්ගෙන් ඔවුන් මුදා ගැනීමේ යුද උපාය හා සැලසුම් සකස් කිරීමට වීරෝධාර රණවිරුවන් සමත් වුණා.

    2009 අප්‍රේල් මාසයේ සිට වරින්වර සාමාන්‍ය වැසියන් සමූහ වශයෙන් රජයේ පාලන ප්‍රදේශ වෙත කැඳවාගනු ලැබුවේ එම උපාය උපක්‍රම අනුවයි. ඒ අනුව, සියලු සාමාන්‍ය වැසියන් ත්‍රස්තවාදී ග්‍රහනයෙන් මුදාගනිමින් එල්.ටී.ටී.ඊ. සංවිධානය යටතේ පාලනය වූ සම්පූර්ණ ශ්‍රී ලංකා භූමිය ආරක්ෂක හමුදා යටතට පත්කරගැනීමෙන් පසු, ත්‍රස්තවාදයට එරෙහි විජයග්‍රහණය 2009.05.18 වැනිදා ප්‍රකාශයට පත් කෙරුණා.

    ත්‍රස්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමූ බව, නිවේදනය කෙරුණේ, මැයි 19වැනි දින කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ප්‍රමුඛ කුඩා ත්‍රස්තවාදී කල්ලිය යුද හමුදා ප්‍රහාරයකින් මිය යාමෙන් පසුවයි. යුද, නාවික, ගුවන් හමුදාවන්ට අමතරව ශ්‍රී ලංකා පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය, මෙන්ම සිවිල් ආරක්ෂක බලකාය ද මානුෂීය ක්‍රියාන්විතයට ඍජු හා අමිල දායකත්වයක් ලබාදුන්නා.

    යුද හමුදාව ත්‍රස්තවාදයට එරෙහි මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් ඉදිරියට ගමන් කිරීමේදී අත්පත් කරගත් ප්‍රදේශ බොහෝ විට ආරක්ෂා කරගනු ලැබුවේ පොලිසිය හා සිවිල් ආරක්ෂක බලකායයි. එසේම පොලිස් විශේෂ කාර්ය බලකාය ද නැගෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයක ත්‍රස්තවාදයට එරෙහි ඍජු මෙහෙයුම් ක්‍රියාත්මක කලා. රණවිරුවන් එදා ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයෙන් සාමාන්‍ය ජනතාව මුදාගැනීමේ මානුෂීය මෙහෙයුමක් ක්‍රියාත්මක කළ අතර, පසුව, එම රණවිරුවන් රටේම ජනතාව වෛරයකින් මුදාගැනීමේ තවත් බරපතල මානුෂීය ක්‍රියාන්විතයකට උරදී සිටියා.

    Last modified on බදාදා, 18 මැයි 2022 19:32

    Latest News