මත්ද්‍රව්‍ය රැගෙන එන මුහුදු මාර්ගය සොයා ගැනේ (විඩියෝ)

මාර් 08, 2019
  • ඇෆ්ගනිස්ථානයේ සිට ඉරානය හරහා ශ්‍රී ලංකාවට මුහුදු මාර්ගයෙන් මත්ද්‍රව්‍ය රැගෙන එන ගමන් මඟ මේ වනවිට නිශ්චිතව අනාවරණ කරගෙන ඇති බව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ මත්ද්‍රව්‍ය මැඬලීම සඳහා ත්‍රිවිධ හමුදාවේ කාර්ය භාරය පිළිබඳව දැනුවත් කිරීම සඳහා ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් සමඟ කොළඹ දී අද පැවැත්වූ ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

    මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළට ත්‍රිවිධ හමුදාවේ පූර්ණ දායකත්වය ලබාදෙන බව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ හමුදාපතිවරුන් කියා සිටී. එහිදී අදහස් දැක්වූ අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න....

    “අපි දැන් හොයා ගෙන තියෙන්නේ මත්ද්‍රව්‍ය කොහෙන්ද එන්නේ කියලා. ඇෆ්ගනිස්තානයේ නිෂ්පාදනය කරන හෙරොයින් පකිස්තානය සහ ඉරානයේ වෙරළට ගෙනවිත් එතනින් ලොකු යාත්‍රා හරහා තමයි ගෙන එන්නේ. ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය එන්නේ දකුණු ප්‍ර දේශය හරහායි. ඒකත් අපි හඳුනාගෙන තියෙනවා. එක බෝට්ටුවක් අපි අල්ලා ගත්තා. එමෙන්ම මෙම මත්ද්‍රව්‍ය මාලදිවයින වැනි රටවල් හරහා ඈත එපිට ප්‍ර දේශවල ඔස්සේ තමයි ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයට ගෙන එන්නේ.

    එම නිසා මෙම රටවල් සමඟ ද බුද්ධි තොරතුරු පවත්වාගෙන යාම අවශ්‍ය වෙනවා. ඒ වගේම ලංකාවේ බහුදින යාත්‍රාවලට මෙම මත්ද්‍රව්‍ය හුවමාරු කරගන්න පුලුවන්. ලංකාවේ බහුදින යාත්‍රා තුන් දහසකට වැඩි ප්‍රමාණයක් තියෙනවා. උතුරු ප්‍රදේශයෙත් ලංකාවට ප්‍රශ්නයක් තියෙනවා. ඉන්දියාවේ ධීවරයින් විශාල ප්‍රමාණයක් උතුරු මුහුදු ප්‍රදේශවලට ඇවිල්ලා මාලු අල්ලනවා. ඒ අතරනුත් මත්ද්‍රව්‍ය ලංකාවට එන්න පුලුවන් යැයි“ අද්මිරාල්වරයා පැවසීය.

    Last modified on සිකුරාදා, 08 මාර්තු 2019 20:27

    Latest News