අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට ඩො.මි. 120ක ආයෝජන හා ණය...

ජූනි 15, 2022

    අමෙරිකා එක්සත් ජනපදය, ශ්‍රී ලංකාව සඳහා ඩොලර් මිලියන 120ක නව ආයෝජන හා ණය වැඩසටහනක් අද (15) ප්‍රකාශයට පත් කළා.

    අමෙරිකානු අන්තර්ජාතික සංවර්ධන මූල්‍ය ආයතනය හෙවත්, ඩී.එෆ්.සී. ආයතනයේ අනුමැතිය ඊට හිමිවූ බවයි, කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කරන්නේ. කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කරන්නේ, ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැංවීමට සහය වීමක් ලෙස, මෙම ණය හා ආයෝජන වැඩසටහන ප්‍රකාශයට පත් කළ බවයි.

    මෙහිදී ඩොලර් මිලියන 100ක් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරය සඳහා ණය සැපයීමට, කොමර්ෂල් බැංකුව වෙත පිරිනමනු ලබනවා. ඊට අමතරව තවත් තෝරාගත් පෞද්ගලික ආයතන සඳහා ඩොලර් මිලියන 15ක මූල්‍යාධාර පිරිනමනු ලබන්නේ, ආර්ථික ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහායි. බලශක්ති, සෞඛ්‍ය, හදිසි යටිතල පහසුකම් හා තාක්ෂණ සංවර්ධන සඳහා අමෙරිකානු ණය සහන වැඩපිලිවෙල යොමුව තිබෙනවා.

    මේ අතර, එක්සත් ජාතීන්ගේ ආධාර වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් ලක්ෂ 8ක් වටිනා හදිසි වෛද්‍ය සැපයුම් තොගයක් ලබාදීමට පියවර ගෙන තිබෙනවා. ඒ, චීන රජයේ සහයෝගය ඇතිවයි. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් එම ව්‍යාපෘතිය මෙහෙයවනු ලැබුවා.

    වෛද්‍ය සැපයුම් අඩංගු කට්ටල 328,000කට අධික සංඛ්‍යාවක්, සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත අද (15) බාරදෙනු ලැබුවා. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ශ්‍රී ලංකාවේ චීන තානාපති කී සෙන්ග් හොංග්, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ශ්‍රී ලංකා නියෝජිත කුන්ලෙ අදෙයිනි යන මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියා.

    Latest News