නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සිව් මහා දේවාලයන්හි අලුයම 3.03 ට යෙදෙන සුබ මොහොතට කප් සිටුවීමේ මංගල්‍යය සිදු කිරීමට නියමිත බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය. මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සංවිධාන කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම නිමිත්තෙන් ශ්‍රී දළදා මාලිගාවේ බහුකාර්ය ගොඩනැගිල්ලේදී අද පස්වරුවේ (15) පැවැති සාකච්ඡාවකදී මේ අදහස් පළවිය.
සතර මහා දේවාලයන්හි කප් සිටුවීමෙන් පසු දේවාල අභ්‍යන්තර පෙරහර පහක් පැවැත්වේ. අනතුරුව මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය වීදී සංචාරය ආරම්භ කරමින් ප්‍රථම කුඹල් පෙරහර අගෝස්තු මස 02 දින ආරම්භ වීමට නියමිතයි. කුඹල් පෙරහර අගෝස්තු 02 දා සිට 06 දක්වා වීදී සංචාරය කිරීමෙන් පසු රන්දෝලි පෙරහර වීදී සංචාරය ඇරඹෙන අතර, ප්‍රථම රන්දෝලි පෙරහර අගෝස්තු මස 07 දින වීදි සංචාරය කිරීමට නියමිතව ඇත.
අවසන් රන්දෝලි මහ පෙරහර නිකිණි පුන් පොහෝ දිනය යෙදෙන 11 දින රාත්‍රියේ වීදි සංචාරය කිරීමෙන් අනතුරුව පසුදින අලුයම ගැටඹේ දියකපනා තොටේදී දිය කැපීමේ මංගල්‍යය සිදු කිරීමට නියමිතයි. අනතුරව දහවල් පෙරහර වීදී සංචාරය කර පෙරහැර සංදේශය අතිගරු ජනාධිපතිතුමා වෙත මහනුවර ජනාධිපති මන්දිරයේදී පිළිගැන්වීමෙන් අනතුරුව මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත්වීමට නියමිත බව නිලංග දෑල මහතා පැවසීය.
මෙම අවස්ථාවට මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි, අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරංපනාවේ ආනන්ද හිමි, බස්නායක නිලමේවරුන්, රාජ්‍ය නිලධාරින් ඇතුලු පිරිසක් එක්ව සිටියා.