ලියෝනි කොතලාවල දිවි සැරිය නිම කරයි...

ජූනි 19, 2022

    ප්‍රවීණ රංගන ශිල්පිනියක වූ ලියෝනි කොතලාවල මහත්මිය අද (19) අභාවප්‍රාප්ත වුණා.

    කලක් රෝගාතුරව සිටි ඇය පසුවුයේ 78 වැනි වියේ. “සාමා“ චිත්‍රපටයෙන් රංගන ක්‍ෂේත්‍රයට පිවිසි ලියෝනි කොතලාවල මහත්මිය, ටෙලි නාට්‍ය හා චිත්‍රපට ක්‍ෂේත්‍රයේ නොමැකෙන සටහනක් තැබීමට සමත්වුණා. කුමාරිහාමි, චරිත තුනක්, ඉරට මුවාවෙන්, උඩු සුළඟ, නෑදෑයෝ වැනි ටෙලි නාට්‍ය රැසකට ඇය සිය රංගන දායකත්වය ලබාදී තිබෙනවා.
    ඒ අතරින්, කුමාරිහාමි ටෙලි නාට්‍යයේ කළ විශිෂ්ට රංගනය වෙනුවෙන් ලියෝනි කොතලාවල මහත්මිය හොඳම නිළියට හිමි OCIC සම්මානයට ද පාත්‍ර වුණා.
    පිපෙන කුමුදු, චණ්ඩාලි වැනි චිත්‍රපට ගණනාවකට ද ඇය සිය නිසග රංගන දායකත්වය ලබාදුන්නා. දරුවන් පස් දෙනෙකුගේ මවක වූ ලියෝනි කොතලාවල මහත්මියගේ අවමංගල්‍යය පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් සඳහන් කළා.

    Latest News