රාජ්‍ය දේපළ හා ජීවිත හානි වළක්වා ගැනීමට අවශ්‍ය බලය යොදා ගැනීමට යුද්ධ හමුදා සාමාජිකයින්ට බලතල...

ජූලි 14, 2022

    ශ්‍රී ලංකා ජනරජ ව්‍යවස්ථාවේ බලතල අනුව රටෙහි නීතිය හා සාමය පවත්වා ගැනීම සඳහා එහි ජනතාව, පොදු දේපළ සහ රටෙහි පවතින ආරක්‍ෂාව පොදුවේ තහවුරු කිරීම සඳහා ආරක්‍ෂක අංශ සාමාජිකයන් සහ පොලිස් නිලධාරින් දිවි හිමියෙන් කැපවී සිටිති. නිදහස ලැබීමෙන් පසු ස්වෛරී රාජ්‍යයක් ලෙස ව්‍යවස්ථාවේ ස්ථාපිත ජනරජයේ ජනතා පරමාධිපත්‍යය රකිමින් ඔවුන්ගේ නිදහස් භාෂනයේ සහ සංචරණය සහතික කරමින් ආරක්‍ෂක හමුදාවෝ සිය රාජකාරිවල නිරත අතර මෙම වසරේ මැයි මාසයෙන් ඇරඹුණු මහජන විරෝධතා සියල්ලේදී ආරක්‍ෂක අංශවල එම විනයානුකූල හික්මීම ඉතා පැහැදිලිව විද්‍යාමාන වූ බව සියලු ශ්‍රී ලාංකිකයන්ට රහසක් නොවේ.

    ජුලි මස 9 දින කොළඹ, කොටුවේ සිදු වූ ජනතා විරෝධය ඇතුලු පසුගිය කාලසීමාව තුළදී පැවති විරෝධතා අතරතුරදී ආරක්‍ෂක හමුදාවන් හා විරෝධතාකරුවන් අතර සුළු ආවේගශීලී සිදුවීම් කිහිපයක් හැරුණු කොට සැලකිය යුතු මට්ටමේ නීතියේ ආධිපත්‍ය බිඳදැමීම් හෝ දරුණු හිංසාකාරී ක්‍රියාවන් කිසිවක් සිදුනොවූ අතර එම කාලසීමාව තුලදී යම් උණුසුම් නොසන්සුන්තාවයන් දෙපාර්ශවය තුළ ඇති විය.

    ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාධිපතිවරුන් සහ පොලිස්පතිවරයා තෙවරකට වැඩි අවස්ථා ගණනක දී විරෝධතා කරුවන්ගෙන් ප්‍රසිද්ධියේ දැඩි ලෙස ඉල්ලා සිටියේ සාමකාමී වන ලෙසත්, රාජ්‍ය ගොඩනැගිලි හා සියලු දේපළ ආරක්‍ෂා කරන ලෙසත් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නික්ම යාම සමඟ මතුව ඇති තත්ත්වයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව විසඳා ගන්නා ලෙසත්ය.

    පසුගිය පැය 72 ක කාලය තුළ වැඩබලන ජනාධිපති සහ අග්‍රාමාත්‍යතුමා, කථානායකතුමා සහ දේශපාලන පක්‍ෂ නායකයින් සමඟ පැවති රැස්වීම්වලදී ද ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, ත්‍රිවිධ හමුදාධිපතිවරුන් සහ පොලිස්පතිවරයා රටේ පවතින දේශපාලන අස්ථාවරත්වය සහ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම කඩිනම් කරන ලෙස අවධාරණයෙන් ඉල්ලා සිටි අතර සාමකාමී අරගලකරුවන් ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ නොවී මහජන දේපළට හානි සිදුනොකරන තාක්කල් පූර්ණ බලය නොයොදවා අවම බලය යොදාගෙන ඔවුන් පාලනය කළයුතු බවට එකඟත්වය පළකෙරිණි.

    කෙසේ වුවද, දෙන ලද ප්‍රතිඥාවලට පටහැනිව සාමකාමි විරෝධතාකරුවන් ප්‍රකාශයට පත්කර ඇති ‘අවිහිංසා’ ප්‍රවේශයෙන් ඉවත්ව අවාසනාවන්ත ලෙස එම විරෝධතා කරුවන්ගෙන් කොටසක් බදාදා (13) දින මධ්‍යහ්න වන විට නීතිය හා සාමය බිඳ දමමින් ප්‍රචණ්ඩ ක්‍රියාවලට යොමු වෙමින් කථානායකවරයාගේ නිල නිවසත්, පාර්ලිමේන්තු සංකීර්ණයත් සිය ග්‍රහණයට ගැනීමට උත්සහ කරනු ලැබුවේ බර වාහන ද යොදා ගනිමින් පොලිස් මාර්ග බාධක ආදිය කඩා දමමින් වන අතර රටෙහි මහජන පරමාධිපත්‍ය සහ ව්‍යවස්ථානුකූලව පැවරී ඇති ප්‍රජාතන්ත්‍රීය වටිනාකම් ක්‍රියාත්මක කළ හැකි එකම ආයතනය වන පාර්ලිමේන්තු සංකීර්ණය ඔවුන් අතට ගැනීමේ පරමාර්ථයෙනි.

    යුද්ධ හමුදා සාමාජිකයන් බදාදා (13) දින රාත්‍රී 07.00 පමණ වන විටත් විරෝධතා කරුවන්ගෙන් සන්සුන් බව සඳහා නොකඩවා කරනු ලැබූ ඉල්ලීම්වලට කිසිදු අවනතභාවයක් නොදක්වා එම විරෝධතාකරුවන් ප්‍රහාරාත්මක ලෙස පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුලුවීමට වෙරදැරූ අතර ඔවුනත තිබූ පොලු, මුගුරු, හිස්වැසුම් ආදී දෑවලින් දමා ගසමින් රාජකාරියේ නියුතු යුද්ධ හමුදා සොල්දාදුවන්ට නොනැවති පහරදුන් අතර භට පිරිස් අත තිබූ මූනිස්සම් සහිත ටී 56 අවි දෙකක්ද උදුරාගනු ලැබුවේ ම්ලේච්ඡ ලෙස හමුදා සොල්දාදුවන් දෙදෙනෙකුට සිහි නැති වන තුරු පහර දෙමින්ය. මේ වනවිට ඉතා දරුණු ලෙස තුවාල ලැබූ හමුදා සාමාජිකයන් දෙදෙනා සහ අනෙකුත් භට පිරිස් කොළඹ ජාතික රෝහලට සහ යුද්ධ හමුදා රෝහලට හදිසි ප්‍රතිකාර සඳහා ඇතුලත් කර ඇත. මෙම අවි දෙක රැගෙන පලාගිය විරෝධතාකරුවන් හා එම අවි අස්ථානගත වීම පිළිබඳව පොලිසිය ද මේ වනවිටත් දැනුවත් කර ඇත.

    අවම බලය භාවිතා කරමින් හමුදා සාමාජිකයින් පෙරලා අහසට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කොට පොලිසියට සහ භට පිරිස්වලට හිංසාව මුදාහරින ලෙසට උසිගැන්වූ ප්‍රචණ්ඩකාරීන් කිහිප දෙනෙකු ද මේ අතර පොලිස් භාරයට ගෙන ඇත. කෙසේ වුවද, පාර්ලිමේන්තු සංකීර්ණයට කඩාවැදීමට උත්සහ කළ එම ප්‍රචණ්ඩකාරි පිරිස් අවම බලය යොදා බදාදා (13) රාත්‍රී වනවිට ඔවුන් විසුරුවාහැර තත්ත්වය පාලනය කරගනු ලැබිණි.

    ආරක්‍ෂක හමුදාවන්ට හෝ මහජන දේපළවලට හානි කිරිම උදෙසා ප්‍රචණ්ඩත්වය වැඩි කරමින් කටයුතු කරන සියලු දෙනාම වහාම එම ප්‍රචණ්ඩ ක්‍රියාවලින් වැළකී සිටිය යුතු බවත් නොඑසේ නම් පවතින තත්ත්වයන්ට අනුකූලව හා සරිලන පරිදි ආරක්‍ෂක හමුදාවෝ සතු සියලු බලතල පාවිච්චි කිරීමට ඉදිරියේදී සිදුවන අතර මහජන දේපල මෙන්ම සියලු මර්මස්ථාන සහ මහජන ජීවිත සුරැකීමේ අනුලංගනීය වගකීම පැවරී ඇති ආරක්‍ෂක හමුදාවෝ එම බලය පාවිච්චි කිරීමට කිසිසේත්ම මැලි නොවන අතර එවැනි තත්ත්වයකදී උදාවිය හැකි පසු ආදීන පිළිබඳ වගකීම මෙම ප්‍රචණ්ඩකාරීන් විසින්ම දරාගත යුතු බව වැඩිදුරටත් අවධාරණය කෙරේ.

    Latest News