අගරදගුරුතුමන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් කළ ඉල්ලීම....

ජූලි 18, 2022

    මෙම තීරණාත්මක මොහොතේ සිය පක්ෂ දේශපාලනික බල ව්‍යාපෘතීන් පසෙකලා මාතෘ භූමිය සහ ජනතාවගේ අපේක්ෂාවන් සාක්ෂාත් කිරීමට කැපවන්නැයි, අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.

    බලලෝ‍භයෙන් සහ දූෂණයෙන් තොර, උපරිම කැපවීමෙන් යුත් නායකත්වයක් තෝරා ගැනීමට ලැබී ඇති මෙම ඓතිහාසික අවස්ථාව අතපසු නොකරන ලෙස, ඉතා නිහතමානීව ඉල්ලා සිටින බව, උන්වහන්සේ නිවේදනයක් නිකුත් කරමින් සිහිපත් කරනවා.

    සෑම අතින්ම පීඩාවට ලක් වී තෙහෙට්ටු වී සිටින මහජනතාව තමන්ට ඉතිරිවී ඇති එකම ශක්තිය වන චිත්ත ධෛර්ය පෙරටු කර ගෙන ජීවිත අවදානම පවා නොතකා, සංයමයෙන් සහ අවිහිංසාවෙන් කළ අරගලය ජයගෙන, සමස්ත පාලන තන්ත්‍රය තුළ විශාල සාධනීය වෙනසක් ඇති වේ යැයි, මහත් බලාපොරොත්තු සහිතව බලා සිටින බව, කාදිනල් හිමිපාණන් සිය නිවේදනයෙන් කියා සිටිනවා.

    ගාලුමුවදොර අරගල භූමිය ප්‍රමුඛ ජනතාව, ලක්ෂ ගණනින් මහ මඟට පැමිණ අරගල කළේ, දූෂිත දේශපාලනික සංස්කෘතියක් හා එම ක්‍රමයේ පූර්ණ වෙනසක් අපේක්ෂාවෙන්. ජනතාව, ඒ වෙනුවෙන් මේ මොහොතේ තමන්ට කළ හැකි දේ උපරිම කැපවීමෙන් ඉටු කර තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන ජනතාවක් ලෙස, දැන් ඔවුන් රටේ ව්‍යවස්ථාවට අනුව මෙම වෙනස සිදු කිරීමේ වගකීම පාර්ලිමේන්තුවේ සිටින තම නියෝජිතයින් වෙත පවරා ඇති බව, නිවේදනයේ සඳහන්.

    ජනතාව, අතිශය දුක්ඛිත තත්වයකට පත්ව රට උග්‍ර, ආර්ථික, දේශපාලනික හා සමාජයීය අර්බුදයකට මැදිව සිටින මෙවන් තීරණාත්මක මොහොතකදී සියලුදෙනා එකට එක්ව පොදු ජනාධිපති අපේක්ෂකයෙකු සහ අගමැතිවරයෙකු තෝරා ගැනීමට නොහැකි වීමෙන් පෙනී යන්නේ, තවමත් පොදුජනතා අභිලාෂයන් මහජන නියෝජිතයන් විසින් හරිහැටි අවබෝධ කර ගෙන නොමැති බවයි.

    ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙළක් ලෙස මේ මොහොත වන විටත් රටේ, ඉහළම ආගමික නායකත්වය ජනතාව වෙනුවෙන් යෝජනා කර ඇති සියලුදෙනාටම පිළිගත හැකි තාවකාලික දේශපාලනික විසඳුමකට යෑමට නිර්භයව සහ නිර්පාක්ෂිකව මැදිහත් වන ලෙස, ආගමික නායකයෙකු ලෙස, තමන් රටේ මහජනතාව වෙනුවෙන් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු‍න්ගෙන් ඉල්ලා සිටින බව, අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සිය නිවේදනයෙන් අවධාරණය කරනවා.

    Latest News