ඉන්ධන බෙදාහැරීමට ගතයුතු පියවර ගැන යෝජනා මාලාවක්

ජූලි 26, 2022

    ඉන්ධන බෙදාහැරීමට ගතයුතු පියවර දැක්වෙන යෝජනා මාලාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට බාරදී ඇතැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමය අද ‍ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

    ඉන්ධන, විදුලිය, ආහාර, ඖෂධ බෙදාහැරීම ඇතුළු අත්‍යවශ්‍ය සේවා විධිමත්ව හා හිඟයකින් තොරව ජනතාවට බෙදා හැරීමේ කෙටි හා දිගුකාලීන වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ඉල්ලා ගොණු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් අද කැඳවු අවස්ථාවේ මෙම දැනුම් දීම සිදු කර තිබෙනවා.

    පෙත්සම් කැදවනු ලැබුවේ විජිත් මලල්ගොඩ, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ. 

    නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින්පුල්ලේ මහතා කරුණු දක්වමින් කියා සිටියේ, ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා කළ නියෝගයකට අනුව, බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රමුඛ නිලධාරීන් හා ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර, රැස්වීමක් ඉකුත් 18 වැනිදා පැවති බවයි. 

    එම රැස්වීමට දිස්ත්‍රික් ලේකම්වරුන් පිරිසක්ද සහභාගි වූ බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ උදිත ඉගලහේවා මහතා කියා සිටියා.  එම පෙත්සම් අගෝස්තු 5 වැනිදා යළි කැඳවීමට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය, මෙම ක්‍රියාවලියේ ප්‍රගතිය දැනුම් දෙන ලෙසත්, දෙපාර්ශ්වයට දන්වා සිටියා. 

    Latest News