උදයංග වීරතුංගගේ විදේශ ගමන් තහනම ඉවත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

අගෝ 12, 2022

    තමන්ට විදේශ ගත වීමට අවසර දෙන ලෙස රුසියාවේ හිටපු ශ්‍රිලංකා තානාපති උදයංග වීරතුංග මහතා විසින් කළ ඉල්ලීමක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් ප්‍රතික්ෂේප කළා.

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් ගුවන් යානා මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන හතක් සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ගොනු කර ඇති විමර්ශනයකට අදාළව උදයංග වීරතුංග මහතා සැකකරු වශයෙන් නම් කර තිබෙනවා.

    ඔහු ඇප මත මුදා හළ අවස්ථාවේදී ඔහුගේ විදේශ ගමන් තහනම් කිරීමට ද අධිකරණය විසින් නියෝග කර තිබුණා.

    ඒ අනුව මෝසමක් මාර්ගයෙන් අද අධිකරණය හමුවේ කරුණු දැක්වූ උදයංග වීරතුංග මහතාගේ නීතිඥවරයා දන්වා සිටියේ වෙළඳ සම්මන්ත්‍රණයකට සහභාගි වීම සඳහා තම සේවාදායකයාට විදේශගත වීමට අවශ්‍ය ඇති බවයි.

    ඒ සඳහා ඔහුට එරෙහිව අධිකරණය විසින් පනවා තිබෙන විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගය තාවකාලිකව ලිහිල් කරන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

    එහෙත් එම ඉල්ලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විරෝධය පළ කර සිටියා.

    එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කළේ මෙම සැකකරු 2015 වසරේ සිට අධිකරණය මගහැර විදේශගතව සිටි අතර 2019 වසරේදී නව රජය බලයට පත්වීමෙන් පසුව මෙරටට පැමිණි බවයි.

    මොහුට විදේශ ගත වීමට අවසර දුන හොත් ඔහු යළි මෙරටට පැමිණීම අවිනිශ්චිත බව පෙන්වාදුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එබැවින් අදාළ ඉල්ලීමට තරයේ විරුද්ධ වන බව කියා සිටියා.

    එහෙත් උදයංග වීරතුංග මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ පැවසුවේ තම සේවාදායකයාට එරෙහිව වසර හතක් තිස්සේ විමර්ශන සිදු කළත් ඔහුට එරෙහිව කිසිදු සාක්ෂියක් මේ දක්වා සොයා ගෙන නොමැති බවයි.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විදේශ ගත වීමට අවසර දෙන ලෙස සැකකරු වෙනුවෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව නියෝග කළා.

    Latest News