ජනාධිපති මන්දිරය තුළදී සොය ගත් මුදල් ගැන පොලිසියෙන් වාර්තාවක්

අගෝ 12, 2022

    අරගලකරුවන් විසින් ජනාධිපති මන්දිරයේ දී සොයාගෙන කොටුව පොලිසිය වෙත භාර දුන් රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකට අධික මුදල් අධිකරණයට ඉදිරිපත් කිරීමට ප්‍රමාද වීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කළා.

    එම පැමිණිල්ල අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එහිදී පොලිස් විශේෂ විමර්ශනය ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.එස්. වික්‍රමසිංහ මහතා අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධියට අදාළව අධිකරණයෙන් ලබාගත් නියෝගයක් අනුව දුරකථන ඇමතුම් විස්තර වාර්තා ලබාගෙන විමර්ශන සිදුකළ බවයි.

    එම දුරකථන ඇමතුම් පරීක්ෂාවේ දී බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ලබා දී තිබෙන බව අනාවරණය වී ඇතැයි පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයා අධිකරණයට දන්වා සිටියා.

    කෙසේ වෙතත් මීට අදාළව අදාළව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලීසියට ප්‍රකාශයක් ලබාදී ඇති අතර එම ප්‍රකාශය තුළින් තමා කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයාට දුරකතනයෙන් කතා කළ බව පිළිගෙන තිබෙන බවද පොලිස් විශේෂ විමර්ශන ඒකකය අධිකරණයට දැනුම් දුන්නා.

    එහෙත් එම දුරකථන ඇමතුම මගින් අදාළ මුදල් සම්බන්ධයෙන් ගත යුතු පියවර පිළිබඳව තමන් කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයාට උපදෙස් ලබා දීමක් සිදු නොකළ බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සිය ප්‍රකාශය තුළින් සඳහන් කර ඇතැයි පොලිස් විශේෂ විමර්ශන ඒකකය අධිකරණය හමුවේ අනාවරණය කළා.

    ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරන බව කී පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයා එහි ප්‍රගතිය වාර්තා කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියා.

    අනතුරුව එම පැමිණිල්ල ලබන 26 වනදා යළි කැඳවීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා හිදින විමර්ශන ප්‍රගතිය වාර්ථා කරන මෙන් පොලිසියට නියෝග කළා.

    Latest News